අර්ජුන්-පලිසේන ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් දෙක නිෂ්ප්‍රභයි

  👤  2943 readers have read this article !
By mawbima 2018-10-12

කමල් මහේන්ද්‍ර වීරරත්න

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු හරහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අනුග්‍රහය ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටත්, සේවක අර්ථ සාධක අරමුදලටත්, ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවලටත් රුපියල් කෝටි 850ක අලාභයක් සිදුකරන ලදැයි යන චෝදනා යටතේ දිගින් දිගටම මාස 08ක තරම් කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටින තමන් හට ඇප ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින්, සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් දෙක අභියාචනාධිකරණය විසින් ඊයේ (11දා) නිෂ්ප්‍රභ කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එම ප්‍රතිශෝධන පෙත්සම් දෙක නිෂ්ප්‍රභ කරන ලද්දේ 2018 මාර්තු මස 29 වැනි දින සිට දින 09ක් තිස්සේ පවත්වන ලද නඩු විභාගයකින් අනතුරුවය. මෙම පෙත්සම් පිළිබඳව විභාගය ඉකුත් ජූලි මස 18 වැනි දින නිමා කළ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ඊයේ (11දා) දිනයේදී ප්‍රකාශ කරන බව සියලු පාර්ශ්වයන්ට එදින දැනුම් දෙනු ලැබීය.

මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී ඇති තොරතුරු මත ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම දෙදෙනාට එරෙහිව කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ චෝදනා ගොනු කරමින් රාජ්‍ය ආයතන 05කට මෙලෙස රුපියල් බිලියන 8.5ක පාඩුවක් සිදුකොට ඇතැයි 'බී' වාර්තා මඟින් වාර්තා කොට ඇත. ඒ අනුව දිසාවිනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මොවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලද අතර, ඇප ලබා දෙන ලෙස කරන ලද අයදුම් විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බවත් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම්පත් ගොනු කළද කිසිදු කරුණු විමසීමකින් තොරව එම අයදුම්පතද ප්‍රතික්ෂේප කරන ලද බවත් පවසමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් දෙක ගොනුකොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon