දුමින්ද සිල්වාගේ ඇපෑල ඉවතට

  👤  3016 readers have read this article !
By mawbima 2018-10-12

කමල් මහේන්ද්‍ර වීරරත්න

භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුවට එරෙහිව ගොනු කොට තිබූ විශේෂ අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව ඊයේ (11දා) ප්‍රකාශ කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය, මහාධිකරණය විසින් මරණ දඬුවමට නියම කොට සිටි නඩුවේ පළමුවැනි විත්තිකරු සියලු චෝදනාවන්ට නිවැරැදිකරු බව ප්‍රකාශ කරමින් ඔහු නි‍ෙදාස් කොට නිදහස් කළේය.

පළමුවැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මැල් නමැති දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා එලෙස නි‍ෙදාස් කොට නිදහස් කළ පංච පුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එකී දඬුවමට නියමව සිටි දුමින්ද සිල්වා, ඩී.එම්. සරත්කුමාර බණ්ඩාර සහ චමින්ද රවි ජයනාත් යන තිදෙනාගේ අභියාචනා ඉවත දැමීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනිණි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි) සහ තවත් තිදෙනකුට මරු කැඳවමින් හා පාර්ලිමේන්තු මන්ත්‍රි (එවකට) ආර්. දුමින්ද සිල්වාට මරණීය තුවාල සිදු කරමින් මුල්ලේරියාව, හිඹුටානේදී 2011 ඔක්තෝබර් මස 08 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වෙමින් තිබියදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ විගස 2015දී කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කොට ඉන් අනතුරුව දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.

මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා කඩිනමින් එය විභාග කොට තීන්දුවක් ලබාදිය යුතු බවට අධිකරණ ඇමැතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් නම් කොට එකී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

2016 අගෝස්තු මස නඩු විභාගය නිමා වූ අතර 2016 සැප්තැම්බර් මස 08 වැනි දින එහි තීන්දුව ප්‍රකාශ වූයේ බෙදුණු තීන්දුවක් ලෙස (2ට 1) වශයෙන් වූ නඩු තීන්දු දෙකක් ලෙසය.

ප්‍රධාන විනිසුරුවරයා වූ ශිරාන් ගුණරත්න මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව වූයේ විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා කිසිවක් හෝ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල මෙහෙයවූ නීතිපතිවරයා අපොහොසත්ව ඇති හෙයින් විත්තිකරුවන් සියලුදෙනාම සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන බවය.

එහෙත් පද්මිණි රණවක ගුණතිලක මහාධිකරණ විනිසුරුවරිය විසින් ලියන ලද තීන්දුවෙන් ප්‍රකාශ වූයේ විත්තිකරුවන් 13 දෙනාගෙන් අධිකරණය මඟහැර සිටි 5 වැනි විත්තිකාර ජානක ප්‍රියන්ත ගලබොඩද ඇතුළුව 1, 3, 7 හා 11 වැනි විත්තිකරුවන් වන අනුර තුෂාර ද මෙල්, ඩී.එච්. සරත් කුමාර බණ්ඩාර, චමින්ද රවි ජයනාත් හා දුමින්ද සිල්වා යන විත්තිකරුවන් සියලු චෝදනාවන්ට වැරැදිකරුවන් බවත් ඔවුන් සියලුදෙනාට මරණීය දණ්ඩනය නියම කරන බවත් සෙසු විත්තිකරුවන් 08 දෙනා නි‍ෙදාස් කොට නිදහස් කරන බවත්ය.

ඒ අනුව 1, 3, 7 හා 11 යන විත්තිකරුවන් සිවුදෙනාට සහ අධිකරණය මඟහැර සිටි 5 වැනි විත්තිකරු ජනක ප්‍රියන්ත ගලබොඩ ඇතුළු 5 දෙනා හටම මරණ දඬුවම නියම වූයේ එකී තීන්දුවට සෙසු විනිසුරුවරයා වූ එම්.සී.බී. මොරායස් මහාධිකරණ විනිසුරුවරයාද එකඟත්වය ප්‍රකාශ කරමින් ඊට අස්සන් තැබීම නිසාය

පංච පුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ මෙකී විශේෂ අභියාචනා පෙත්සම් ගොනු කරන ලද්දේ එකී දඬුවම් හිමි වූ සිවුදෙනා විසිනි.

එලෙස ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම් 04 ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත කොළඹ මහාධිකරණය විසින් පිටපත් 06කින් යුතුව සකසා යොමු කිරීමෙන් අනතුරුව මූලික කරුණු පිරීක්සීමෙන් පසු ප්‍රථම වරට 2017 නොවැම්බර් මස 27 වැනි දින කැඳවනු ලැබීය. එලෙස කැඳවා මූලික කරුණු තහවුරු කරගත් පංච පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය 2018 මාර්තු මස 26, 27 මැයි මස 08, 10, 14, 18 ජුනි මස 04, 05, 06, 18 හා ජූලි මස 18, 20, 25 හා 26 වැනි දිනයන්හිදී පෙත්සම් විභාගය පවත්වනු ලැබීය.

ජූලි මස 26 වැනි දින පෙත්සම් විභාගය නිම කළ විනිසුරු මඬුල්ල අවසන් සැලකිරීම් සඳහා සියලු පාර්ශ්වයන්ට අගෝස්තු මස 10 වැනි දින දක්වා කල් ලබාදුනි.
මෙම තීන්දුව ඊයේ (11දා) ප්‍රකාශ කරන ලද්දේ ඉන් අනතුරුවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon