බත්තරමුල්ලේ නිමි ඇඳුම්හල ගිනිබත්

  👤  2995 readers have read this article !
By mawbima 2018-10-12

පන්නිපිටිය _ හෂාන් පුෂ්පික

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධිය ආසන්නයේ පිහිටි රෙදිපිළි අලෙවි කරන සිවුමහල් ගොඩනැඟිල්ලක ඊයේ (11දා) උදෑසන ඇති වූ ගින්නකින් එම ගොඩනැඟිල්ලේ තිබූ කෝටි ගණනක රෙදිපිළි මුළුමනින්ම විනාශ වී යාබදව පිහිටි ගොඩනැඟිලි තුනකටද හානි සිදුව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් ගැන වාර්තා වී නොමැති බවද පොලිසිය කියයි.

පැලවත්ත හන්දියේ පිහිටි ඛ්ධධත ර්ථීතචදචබ රෙදිපිළි අලෙවි මධ්‍යස්ථානයේ ඊයේ උදෑසන 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් මහල් හතරක තිබූ කෝටි ගණනක නිමි ඇඳුම් හා උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ගොඩනැඟිල්ලේ පිහිටි රෙදිපිළි ආයතනය කොළඹ අවට පිහිටි තම ශාඛා සඳහාද රෙදිපිළි තොග බෙදාහරින ස්ථානයද වන හෙයින් මෙහි අති විශාල නිමි ඇඳුම් තොගයක් තිබෙන්නට ඇති බවත් ඒ සියල්ල ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

ගින්න හටගෙන පැයක් යන්නට පෙර යාබද ගොඩනැඟිලි දෙකකටද ගින්න පැතිරී ගිය අතර ඒ වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ 4ක් සහ කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න පාලනය කිරීමට ක්‍රියාකර ඇත. එම ගිනි නිවීමේ රථවලට අවශ්‍ය ජලය සැපයීම සඳහා යුද හමුදා ජල බවුසර් පැමිණ ජලය ලබාදෙමින් ඊට සහාය වන අයුරු දක්නට ලැබිණි.

ගොඩනැඟිල්ල තුළ තිබූ රෙදිපිළි දිගින් දිගටම ගිනි ගැනීම නිසා එය පාලනය කිරීමට දෙහිවල _ ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන රථ 2ක් හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක්ද පැමිණ ගින්න මැඬපැවැත්වීමට ක්‍රියා කර ඇත. මෙහිදී ඊට යාබදව පිහිටි ඉදිකිරීම් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනයටද සිදුවීමට ගිය හානි ගිනි නිවන රථ යොදා පාලනය කිරීමට හැකි වූ බව පොලිසිය පවසයි.

මේ සඳහා යුද හමුදාව, පොලිසිය, ගිනි නිවන රථ, ගුවන් හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව පැය 6ක පමණ කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගින්න මැඬපැවැත්වූ බව කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලිසිය කියයි. ගින්න හේතුවෙන් කොට්ටාව - බොරැල්ල මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පැලවත්ත හන්දියෙන් හරවා පාර්ලිමේන්තු වටරවුම හරහා ධාවනය කරන්නට පොලිසිය පියවර ගනු ලැබිණි. තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහිංකන්ද මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon