ආගමානුකූලව හැසිරී ලක්‍ෂ 18කට විදලා

  👤  3052 readers have read this article !
By mawbima 2018-10-12

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

ආගමට දහමට නැඹුරු වූ කෝටිපති ව්‍යාපාරිකයකු බව අඟවමින් දිවයිනේ ප්‍රසිද්ධ සමාගමක විධායක ශේ‍ර්ණියේ කළමනාකාරවරයකු රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි මූල්‍ය වංචා රැසකට මේ වනවිට පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවකු මාස හයකට පසුව අනුරාධපුර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගනු ලැබීය.

අක්කර පන්සීය නව නගරය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි විධායක ශේ‍ර්ණියේ කළමනාකරවරයා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතා වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කර සැකකරු මීගමුව කුරණ ප්‍රදේශයේ සුඛෝපභෝගි කාමරයක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු විවිධ ව්‍යාපාර අංශයන්හි නියැළෙන කෝටිපති ව්‍යාපාරිකයකු බව අඟවමින් කළමනාකාරවරයා සූක්ෂ්මව රවටා, රුපියල් දාහත් ලක්ෂ 96,000ක මුදලක් වෙනත් පුද්ගලයකුගේ ගිණුමකට බැර කර ගෙන තිබූ බව පොලිසිය පවසයි. සැකකරු, කළමනාකාරවරයා හඳුනාගෙන ඔහු සමඟ අනුරාධපුර රුවන්වැලි සෑය හා ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගෙන සිවුරු පිරිකර ආදියද පූජා කර තමන් කෝටිපතියකු මෙන්ම ආගමට දහමට ළැදි අයකු බව පෙන්වා තිබේ.

එහි ගොස් එන අතරතුර සිඟමන් යදිමින් සිටි යාචකයන්ට රුපියල් 5,000 නෝට්ටු ලබා දෙමින් සැකකරු පැමිණිලිකරුව මවිතයට පත්කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. සැකකරුගේ උප්පරවැට්ටියට හසු වූ කළමනාකාරවරයා ඔහු සැබවින්ම කෝටිපතියකු බවට නිගමනයට පැමිණ ඇති බවත් පසුගිය අප්‍රේල් මාසයේ හදිසි ව්‍යාපාරික කටයුත්තකට රුපියල් දාහත් ලක්ෂ අනූහය දහසක මුදලක් අවශ්‍ය වී තිබෙන බව සැකකරු පැවැසීමත් සමඟ ඔහු ඒ පිළිබඳව දෙවරක් නොසිතා මුදල් තැන්පත් කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. පසුව කෝටිපති මිතුරා දිගින් දිගටම කළමනාකරු මඟහැරීම නිසා ඔහු වංචාකරුවකු බව වටහාගෙන ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මුදල් වංචාව පිළිබඳව පැමිණිලි කර තිබේ.

සැකකරු විවිධ පුද්ගලයන් රවටාගෙන මුදල් වංචා කරන බවත් ඔහුව වෙන්නප්පුව පොලිසියෙන් මෙන්ම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද සොයනා අයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. මොහු මුදල් වංචා කර සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනා බවත් නවාතැන් ගෙන සිටි ස්ථානයේ කුලිය පමණක් මසකට රුපියල් අනූ දහසක් බව පොලිසිය අනාවරණය කර ගෙන තිබිණි. ගමන් බිමන් යෑම සදහා කුලී පදනමට යොදා ගත් සුඛෝපභෝගි රථ වාහන භාවිත කරන බව පොලිසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි පුද්ගලයා අන්‍ය ආගමිකයකු බවත් ඔහු අවශ්‍ය මොහොතේදී තමන් එම ආගම අදහන අයකු බව පවසමින් ආගමානුකූලව හැසිරී වංචාවන් සිදුකරන බවත් පොලිසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන සිරිමල් (62953), අමිල (48059), අසංක (39998), අබේසිංහ (75187) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon