දස දෙනකුට එකවර මරණ දඬුවම

  👤  3089 readers have read this article !
By mawbima 2018-10-12

තංගල්ල - සහම්පති මානගේ

මව ඇතුළුව එකම පවුලේ හය දෙනකු, අඟුණුකොළපැලැස්සේදී වෙඩි තබා, කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර විස්සක කාලයක් තිස්සේ විභාග වූ නඩුවේ වැරැදිකරුවන් වූ දස දෙනකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (11දා) මරණීය දඬුවම නියම කළේය.

මරණ දණ්ඩය නියම වූයේ මෙම නඩුවේ පළමු වැනි විත්තිකරු වූ ලියනපතිරණගේ ආරියදාස (53), හතර වැනි විත්තිකරු වූ ලියනපතිරණගේ දයානන්ද (50), අට වැනි විත්තිකරු වූ ලියනපතිරණගේ නන්දසේන (58), ‍ෙදාළොස්වැනි විත්තිකරු වූ රදම්පලගමගේ ආරියදාස (53), දහහතර වැනි විත්තිකරු වූ ගරුසිංහගේ නීල් කුමාර් (42), පහළොස් වැනි විත්තිකරු වූ කුලසේකර සතරසිංහගේ රංජිත් (48), දහසය වැනි විත්තිකරු වූ චමින්ද රෝහණ පරණමාන, දහහත් වැනි විත්තිකරු වූ ලියනපතිරණගේ රූපසේන (52), දහනව වැනි විත්තිකරු වූ අලුත්ආරච්චිගේ සුජිත් කුමාර (46) හා විසි වැනි විත්තිකරු වූ දන්දෙණියගමගේ චන්දිමාල් (38) නම් දස දෙනකුටය.

මොවුන් අතරින් දහහතර වැනි විත්තිකරු අධිකරණය මඟ හැරීම නිසා වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමටද නියෝග නිකුත් කරනු ලැබීය.

අඟුණකොළපැලැස්ස දික්වැව, රදම්පලගෙදර පදිංචිව සිටි මව වන මහන්තෙගමගේ සුමනාවතී, පුතුන් වන පාලිත සමරසිංහ, අජිත් සමරසිංහ, ප්‍රියන්ත සමරසිංහ, සුරංග සමරසිංහ හා දියණියක වන සංජීවනී සමරසිංහ යන සය දෙනා වෙඩි තබා කපා කොටා නිවෙස තුළදීම 1998 වසරේ දෙසැම්බර් 18 වැනි දින ඝාතනයට ලක් කර තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් විසිතුන් දෙනකුට එරෙහිව අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව පළමුව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේද, හම්බන්තොට මහාධිකරණයේද, ඉන් අනතුරුව තංගල්ල පළාත්බද මහාධිකරණයේද විභාග කෙරිණි.

නඩු පවරන ලද විත්තිකරුවන් විසිතුන්දෙනා අතරින් සුදුසිංහ ගුණසේන, විජිනිගේ පියසේන, ප්‍රැන්සිස්කු බදුගේ ජයසේන හා ගජනායකගේ අජිත් කුමාර යන තැනැත්තන් මිය ගොස් ඇත.

මේ හේතුවෙන් විත්තිකරුවන් 19 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාග විය. මෙම විත්තිකරුවන් අතරින්ද සුදුසිංහ නිමල් පියරත්න, රංජිත් පරණමාන, නිහාල් සතරසිංහ, චමින්ද රෝහණ, දංදෙණිය ගමගේ අජිත් කුමාර, දංදෙණිය ගමගේ කුමාරසිංහ හා මල්දෙණිය කංකානම්ලාගේ සුජිත් ලක්මාල් යන විත්තිකරුවන් හත්දෙනකු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ට විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.

නඩුවේ සාක්ෂි විභාගය හා විත්ති _ පැමිණිලි දෙපාර්ශ්වයේ දේශන පසුගිය අගෝස්තු 07 දින අවසන් කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා, ඇප මත මුදාහැර සිටි නඩුවේ විත්තිකරුවන් ‍ෙදාළොස් දෙනා ඔක්තෝබර් 11 දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියම කළ වැරැදිකරුවන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිත අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් නියම කරන දිනයකදී, වේලාවකදී හා ස්ථානයකදී වැරැදිකරුවන් මිය යන තෙක් ගෙල සිරකර ජීවිතක්ෂයට පත්කිරීමට නියෝග කළේය.

වැරැදිකරුවන් වූ අංක 1, 4, 8, 12, 14, 15, 16 17, 19, 20 විත්තිකරුවන්ට අධිචෝදනා අංක 1 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත මාස හයක සිරදඬුවමක්ද, අධි චෝදනා අංක 14 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්ද, අධි චෝදනා අංක 15 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිරදඬුවමක්ද, අධි චෝදනා අංක 16 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිරදඬුවමක් හා රුපියල් විසිදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද, අධි චෝදනා අංක 19 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් හා රුපියල් දසදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසරක සිරදඬුවමක්ද, අධි චෝදනා අංක 23 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර පහළොවක සිරදඬුවමක් හා රුපියල් විසිදහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසර දෙකක සිරදඬුවමක්ද නියම කළේය.

වැරැදිකරුවන් වූ 8, 12, 14, 15, 16, 17, 19, 20 විත්තිකරුවන්ට ඉහත සඳහන් දඬුවම්වලට අමතරව අධි චෝදනා අංක 20 සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර විස්සක සිරදඬුවමක් හා රුපියල් දස දහසක දඩ මුදලක්ද එය නොගෙවුවහොත් බරපතළ වැඩ සහිතව තවත් වසරක සිරදඬුවමක්ද නියම කළේය.

විත්තිකරුවන් වූ සුදුසිංහ නිමල් පියරත්න, රංජිත් පරණමාන, මල්දෙණිය කංකානම්ලාගේ සුජිත් ලක්මාල්, නිහාල් සතරසිංහ, දංදෙණිය ගමගේ අජිත් කුමාර, දංදෙණිය ගමගේ කුමාරසිංහ, වීරසිංහගේ නිමල්, තිලක් දයානන්ද හා මහින්ද ඒකනායක අයවලුන් සම්බන්ධයෙන් ගොනුකර තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොතිබීම හේතුවෙන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
රජයේ නීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ මහතා එවකට පැමිණිල්ල මෙහෙය වූ අතර රජයේ නීතිඥ සචිනි ඉද්දමල්ගොඩ මෙනෙවිය විසින් පසුව මෙම නඩුව මෙහෙයවනු ලැබීය.

ශාබ්දික වෙල්ලප්පිලි මහතා, ඉරෝෂිණි රාමසිංහ මෙනෙවිය හා ප්‍රදීප් රාජපක්ෂ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

වසර විස්සක පමණ කාලයක් තිස්සේ මෙම නඩුව විභාග වීමට හේතු දැක්වීම තමා සතු වගකීමක් හා මෙය සමස්ත නීති පද්ධතියටම බලපාන කරුණක් බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. ඉද්දමල්ගොඩ මහතා, මෙවන් බරපතළ ගණයේ අපරාධයක් සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේ සිට නඩුව විභාග කළ ආකාරය විස්තරාත්මකව හා පැහැදිලිව ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon