ආසියානු පැරා ක්‍රීඩා උළෙල ලංකාවේ සිවු වැනි රන් පදක්කම දිනේෂ්ගෙන්

  👤  2814 readers have read this article !
By mawbima 2018-10-12

ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකරගත් වැඩිම රන් පදක්කම් ගණන මේ වන විටත් සටහන්ව ඇති මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ඊයේ (11දා) පැවැති ඉසව්වලින් ශ්‍රී ලංකාවට තවත් රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් හිමිවීම විශේෂත්වයකි. ඉන්දුනීසියාවේදී පැවැත්වෙන මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟින් පදක්කම් සටහනේ 14 වැනි ස්ථානයේ පසුවෙයි.

එහිදී ජ්-46 අංශයේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේදී මීටර් 61.84ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද පිහිටුවා රන් පදක්කම හිමිකර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වූ අතර මීටර් 61.33ක දුරක් සටහන් කළ ඉන්දීය ක්‍රීඩක සුන්දර් සිං එහි රිදී පදක්කමත් මීටර් 60.92 දුරක් සටහන් කළ ඉන්දියාවේම රින්කු රින්කු එහි ලෝකඩ පදක්කමත් හිමිකර ගැනීමට සමත් වූහ.

තවද ජ්-42/61/63 අංශයේ යගුළිය ඉසව්වේදී මීටර් 13.21ක දුරක් සටහන් කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. එහිදී මීටර් 15.27ක දුරක් සටහන් කළ ඉරාන ක්‍රීඩක මොහොමඩ්ඩියන් සජාඩ් රන් පදක්කමටද මීටර් 13.12ක දුරක් සටහන් කළ උස්බෙකිස්තානයේ රික්සිමෝ මුක්හමඩ් එහි ලෝකඩ පදක්කමටද හිමිකම් කීහ.

මේ අතර ශ්‍රී ලංකාවට ඊයේ හිමි වූ ලෝකඩ පදක්කම දිනා දෙන්නට රෝද පුටු ටෙනිස් යුගල අංශයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ලසන්ත රණවීර සහ එල්.එස්.ආර්. ධර්මසේන යුගලය සමත් වූහ.

කෙසේ වෙතත් මීටර් 100 සහ 200 ඉසව්වල රන් පදක්කම්ලාභී අමිල ප්‍රසාන් ඊයේ ඊ-42/ ඊ-63 අංශයේ උස පැනීම ඉසව්වටද සහභාගි වූ අතර එහිදී ඔහුට සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වෙන්නට සිදු විය.

මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් නිර්මල බුද්ධිකද මෙම ඉසව්වට සහභාගි වූ අතර ඔහුට 5 වැනි ස්ථානය හිමි විය. තවද ඊ-45/46/47 අංශයේ මීටර් 400 අවසන් තරගයට සහභාගි වූ සමන් මධුරංග තත්පර 50.16ක කාලයක් සටහන් කරමින් සිවු වැනියා ලෙස තරගය නිමා කළේය. එහි කාන්තා අංශයේ අවසන් මහා තරගයට සහභාගි වූ අමරා ඉන්දුමතීටද සිදුවූයේ සිවු වැනි ස්ථානයෙන් සෑහිමට පත්වීමටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon