44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙසින් පුලතිසිපුරයේදී ඇරැඹේ

  👤  2859 readers have read this article !
By mawbima 2018-10-12

විචිත්‍ර වීරසිංහ - පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ සිට..

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් පුලතිසිපුරයේදී ඊයේ ආරම්භ විය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ හා ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ ගිනිසිළුව දැල්වීමේ කටයුත්ත 2013 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400×4 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා දීමට සම්මාදන් වූ කසුන් කල්හාර හා 2001 වසරේදී ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් කණ්ඩායමේ එල්.ඒ.ප්‍රියංගිකා විසින් සිදුකරනු ලැබීය.

අනතුරුව ක්‍රීඩා උළෙල විවෘත කරමින් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙසේ පැවැසීය.

"ගමේ ක්‍රීඩාවට අත දෙන්න කියලත්, ක්‍රීඩාවෙන් දේශපාලනය වෙන්කරන්නත් කියලා ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා. එයට අවශ්‍ය වැඩපිළිවෙළක් මම දැනටමත් සකසාගෙන යනවා" යැයි පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙන ආ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට නිසි වටිනාකමක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය විශේෂ ආරාධිතයකු ලෙස මෙම ක්‍රීඩා උළෙලට සහභාගි කරවූ බවද පෙන්වා දුන්නේය.

මේ අතර මෙතෙක් පැවැති ක්‍රීඩා ඉසව් 29ක් අතරින් රන් පදක්කම් 83ක්, රිදී 71ක් හා ලෝකඩ 61ක් දිනාගනිමින් බස්නාහිර පළාත් කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර, රන් 33ක්, රිදී 31ක් හා ලෝකඩ 43ක් හා රන් 22ක්, රිදී 26ක් හා ලෝකඩ 39ක් දිනාගනිමින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානවල රැඳී සිටීමට මධ්‍යම හා වයඹ පළාත් කණ්ඩායම් සමත්වී තිබේ.

තවද රන් 17ක්, රිදී 24ක්, ලෝකඩ 30ක් හා රන් 17ක්, රිදී 12ක් හා ලෝකඩ 27ක් දිනාගත් දකුණ හා සබරගමුව පළාත් පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල රැඳී සිටී.

ඡායාරූප -
වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon