දඹුල්ලට පැමිණි අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ගැනත් සෝදිසියක්

  👤  2852 readers have read this article !
By mawbima 2018-10-12

සිරිනාම රාජපක්‍ෂ _ දඹුල්ලේ සිට...

ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළව හැඳුනුම්පත් නිකුත් කරන ලද සියලුම දෙනාගේ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස මේ දිනවල දඹුල්ලට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වන ලදැයි වාර්තා වේ.

ඒ අනුව එම තොරතුරු පරීක්‍ෂාවට ලක් කිරීම ඊයේ (11දා) සිට සිදුකරන බව දැනගන්නට ලැබුණු අතර සති දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින දූෂණ විමර්ශන නිලධාරීන් දඹුල්ලේ නවාතැන් ගනිමින් තම රාජකාරි කටයුතු කරනු ඇතැයිද පැවැසේ. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සේවයට යොදවා ඇති සියලුම නිලධාරීන් සහ සේවකයන්ගේ දත්ත පරීක්‍ෂාවට ලක් කරමින් ඔවුන් සතුව ඇති තොරතුරු සනාථ කරගැනීමේ වැඩසටහනක්ද ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ විමර්ශන නිලධාරීන් දියත් කර ඇති බවද දැනගන්නට ඇත.

තවද මෙම තරගාවලියේදී ක්‍රිකට් ආයතන සේවකයන්ගේ රාජකාරියේ ස්වභාවය මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුද සොයා බලමින් සිටින අතර ඔවුන්ට සැක සහිත නිලධාරීන් සහ සේවකයන් විශේෂ පරීක්‍ෂාවකට භාජනය කරනු ඇතැයිද වැඩිදුරටත් පැවැසේ. එයට හේතුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී සත්කාරකත්වය දරන රාජ්‍යයේ ක්‍රිකට් ආයතනයේ වගකීම් පැවැරෙන සේවකයන්ට නිලධාරීන්ට තරග පාවාදීම්වලට සෘජුව සහ වක්‍රව සම්බන්ධවීමේ හැකියාව ඇති බවද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය විසින් තහවුරු කරගෙන තිබීමයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බොහෝ දෙනකු දඹුල්ල ක්‍රීඩාංගණයේ රාජකාරි සඳහා යොදවා තිබුණද ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බවට මාධ්‍ය විසින් පෙන්වා දීමෙන් පසුව ඊයේ දිනයේදී එම ලේකම්වරියන් සියලු දෙනා යළිත් කොළඹට කැඳවා ඇතැයිද වාර්තා වේ. එසේ ලේකම්වරියන් 10කට අධික පිරිසක් දඹුල්ලට ගෙන්වා තිබුණේ විශේෂ දීමනා වශයෙන් දිනකට රුපියල් 5000ක් සහ නවාතැන් පහසුකම්ද ලබා දීමේ පදනම මතය. කෙසේ වෙතත් මොවුන් යළි කැඳවූයේ ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමෙන් පසුව බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon