බෘහස්පති - මව්බිම ගේය කාව්‍ය සම්මාන උළෙල 2018

  👤  2961 readers have read this article !
By mawbima 2018-10-12

බෘහස්පති සරසවියත් 'මව්බිම' පුවත්පතත් එකතුව තෙවැනි වරටත් පැවැත්වූ සමස්ත ලංකා බෘහස්පති - 'මව්බිම' ගේය කාව්‍ය රචනා තරගය 2018 සම්මාන හා ත්‍යාග ප්‍රදානෝත්සවය පෙරේදා (10දා) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වැසි බර උදෑසනක් වුවද ගී පද රචක රචිකාවන් ඇතුළු සහෘදයන්ගෙන් ශ්‍රවණාගාරය පිරී ගොස් තිබුණේය.

බෘහස්පති සරසවි 'වාද්‍ය වෘන්දය' සිය සංගීතයෙන් හා ගායනයෙන් උළෙල රසවත් කළේය. සරස්වතී අභිනන්දන ගීතයෙන් ඇරැඹි උළෙලේ මුඛ්‍ය දෙසුම පවත්වනු ලැබුවේ බෘහස්පති සරසවි ආයතනයේ අධ්‍යක්ෂ හරිශ් දීප් වල්පොළ විසිනි. 'මව්බිම' දිනපතා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුසිල් සුරවීරද කෙටි දෙසුමක් පැවැත්විය.

උළෙලේ සමාප්තිය ගීතය ලෙස ගැයුණේ නන්දා මාලනියගේ 'අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ' ගීතයයි.

බෘහස්පති - 'මව්බිම' ගේය කාව්‍ය රචනා තරගය 2018 හොඳම පද රචනය ලෙස සම්මාන සහතිකය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ 'සියුමැලි කඳුළු' රචනා කළ වජිර පුලස්ති එදිරිසිංහය. 'අධිකාරම් මීගස්තැන්නේ' පද රචනය කළ හරිත විශ්වජිත් මනමේන්ද්‍රට දෙවැනි ස්ථානය හිමි විය. සම්මාන සහතිකය සමඟ ඔහුට මුදලින් රුපියල් 15,000ක් පිරිනැමිණි. රේණුකා තලතා කුමාරි ගුණසේකරට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. 'උඹ හීනයක් ළඟ' ඇගේ පදරචනය විය. ඇයට සම්මාන සහතිකය සමඟ රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.

සිවුවැනි ස්ථානයේ සිට පහළොස් වැනි ස්ථාන දක්වා සහතිකපත් පිරිනැමුණු අතර පිළිවෙළින් උපුල් ‍ෙදාඹේපොළ, බන්ධු එස්. අඹේපිටිය, පී.එම්. අහංගම, කේ. විජයතුංග, යූ.පී.අයි.ඒ. ආරියදාස (ඉන්දික උඩවත්ත), ඩ්.බී.ඊ ප්‍රියන්ත, කේ.කේ.ඒ.එම්. කුමාරතිස්ස, එන්.එච්. දර්ශනී කොඩිතුවක්කු, අනෝමා ජී. රාජපක්‍ෂ, නදීෂා සඳමාලි, චන්ද්‍රසේන බදුගම හා සුපුන් සුධාරක අබේකෝන් ඒ ‍ෙදාළොස්දෙනාය.

කේ. එච්. දයාශිල වජිර ප්‍රභාත් වීරසිංහ, එස්.වි.ජී. සිරිසේන, සී.බී. ෆොන්සේකා, 'මිහිර' ප්‍රධාන කර්තෘ ජගත් හේවාපන්න, 'මව්බිම' දිනපතා නියෝජ්‍ය කර්තෘ සුසිල් සුරවීර, බෘහස්පති කවි සංසදයේ ලේකම් ශාන්ත බණ්ඩාර ඇතුළු ආරාධිතයන් අතින් ජයග්‍රාහකයන්ට සම්මාන සහතික හා මුදල් ත්‍යාග පිරිනැමිණි. ජයග්‍රාහි පද රචනා ඇතුළු සියලු පදරචනා ඇතුළත් 'මීවදය' 2018 ගී නිර්මාණ සරණිය ද මෙහිදී එළිදැක්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon