වීදාගම රජමහා විහාරයෙන් මව්බිම සම්බුදු සුවඳ විහිදෙයි

  👤  2980 readers have read this article !
By mawbima 2018-10-12

බණ්ඩාරගම - ජනක හෙට්ටිආරච්චි

"මව්බිම" ජාතික පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බණ්ඩාරගම "දවස" පොත්හල සහ වීදාගම මෛතේ‍රය රජමහ විහාරස්ථ දායක සභාව සංවිධාන කළ "මව්බිම සම්බුදු සුවඳ" ධර්ම දේශනා පින්කම සැදැහැතියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මහත් හරසරින් යුතුව පසුගියදා (06දා) සන්ධ්‍යාවේ තත් වෙහෙර පින්බිමේදී පැවැත්විණි.

බණ්ඩාරගම වීදාගම මෛතේ‍රය රජමහ විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති වීදාගම කස්සප හිමියන්ගේ අනුශාසනාද ඇතිව පින්කම සංවිධානය කෙරුණු අතර බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නායක හිමියෝ ධර්ම දේශනාව සඳහා වැඩම කළහ. පුරා පැයකුත් අඩ හෝරාවකට ආසන්න කාලයක් ඉතාම සරල හා අරුත්බර ලෙස ගැඹුරු දහම් කරුණක් ඔස්සේ සද්ධර්ම දේශනය පැවැත්වුණු අතර ඊට පෙර දින සිටම පැවැති අධික වර්ෂාපතනය පහව ගොස් ස්වභාව ධර්මයාගේ ආශීර්වාදය ඊට හිමි විය.

සද්ධර්ම දේශනය අවසන ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියෝ අනුශාසනාව සිදුකරමින් මෙසේද පැවැසූහ.

'මව්බිම' ජාතික පුවත්පත මෙහෙය වූ 'සම්බුදු සුවඳ' තවත් එක් වැඩසටහනක නිමාව දුටු මොහොතයි මේ. ලෝවැඩ සඟරාවත් රචනා කළ වීදාගම මහා මෛ‍ෙත්‍රිය හාමුදුරුවෝ වැඩ සිටිය මහා පින්බිමක් මේ වීදාගම රජමහ විහාරය. මේ උතුම් පුණ්‍ය භූමිය ඔස්සේ තවදුරටත් බොහෝ සේවාවන් සිදු කරන්නට විහාරාධිපති වීදාගම කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. "මව්බිම" මේ රටේ විශාල සේවාවක් කරන ජාතික පුවත්පතක්. ඔවුන් කරන සේවාව ඔස්සේ ආගමික වශයෙනුත් සේවාවක් කිරීමටයි මේ වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ.

රට, ජාතිය, ආගමට සේවය කරන අතරතුර ධර්මයත් මතු කොට දක්වමින් හොඳ නරක පෙන්වා දෙමින් මේ රටේ සංස්කෘතිය, උතුම් ධර්මය රැක ගන්නට උපකාර කරනු වස් පවත්වන මේ වැඩසටහන විශේෂයෙන් අගය කළ යුතුයි. 'මව්බිම' පුවත්පත මේ රට වෙනුවෙන් සමාජයීය, සංස්කෘතික, දේශපාලනික වශයෙන් සේවය කරන අතරේ බෞද්ධ වූ අපිට ආධ්‍යාත්මික සේවාවක්ද කරනවා. තවදුරටත් මේ වැඩසටහන් රට පුරා පවත්වමින් තථාගත ධර්මය බෙදා දෙන්නට සවිය ශක්තිය "මව්බිම" පුවත්පතේ සභාපති ටිරාන් අලස් මහතා, විධායක අධ්‍යක්ෂ රමන්ත අලස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට හිමි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. බණ්ඩාරගම 'මව්බිම' පුවත්පතේ අලෙවි නියෝජිතව සිටි දිවංගත කේ.එල්. ධර්මදාස මහතාටත් පින් අනුමෝදන් වෙත්වා.

මෙහිදී විහාරාධිපති වීදාගම කස්සප හිමියන් පිළිගැනීමේ හා පුණ්‍යානුමෝදනා අනුශාසනාව සිදු කළ අතර මෙම අවස්ථාවට 'මව්බිම' ජාතික පුවත්පතේ අලෙවි හා බෙදා හැරීම් කළමනාකරු රොහාන් ෆොන්සේකා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ. ධර්ම ශ්‍රවණයට පැමිණි සියලු දෙනා හට 'මව්බිම' පුවත්පත නොමිලේ බෙදා දීමද සිදුවිය.

ඡායා - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon