ශ්‍රී ලංකාව සහ එංගලන්තය පරදා දඹුල්ලේදී වැස්ස ජය ගනී

  👤  1046 readers have read this article !
By mawbima 2018-10-11

සිරිනාම රාජපක්‍ෂ,

දඹුල්ල ජාත්‍යන්තර
ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...

දඹුල්ල ප්‍රදේශයට ඊයේ (10දා) සවස පැවැති අධික වර්ෂාව නිසා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව නිමා කිරීමට ඊයේ රාත්‍රි 8.15ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව විනිසුරුවෝ තීරණය කළහ. ඊයේ පස්වරු 3.42ට ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු 2කට ලකුණු 92ක් ලබා සිටි අතර ඒ වන විට රූට් නොදැවී ලකුණු 25ක්ද මෝගන් නොදැවී ලකුණු 14ක්ද ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් චන්දිමාල්ගේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ ජේසන් රෝයි හා ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාගේ ආරම්භය ලකුණු 49ක් දක්වා ගෙනැවිත් සිටියදී 8 වැනි පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප්ගේ හයවැනි පන්දුවට කඩුලු රකින දික්වැල්ල අතට උඩපන්දුවක් දීමෙන් පන්දු 24කදී ලකුණු 25ක් ලබා සිටි බෙයාර්ස්ටෝ දැවී ගියේය. ඉන් පසුව රෝයිට එක්වූ ජෝ රූට් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 2ක් එක්කර තිබියදී 9 වැනි පන්දුවාරය යැවූ අකිල ධනංජය ඉදිරියේ ලකුණු 24ක් ලබා සිටි රෝයි දැවී ගියේ මිඩ් ඕෆ්හි පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩපන්දුවක් දීමෙනි.

කෙසේ වෙතත් ජෝ රූට් හා නායක මෝගන් අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38කදී ලකුණු 41ක සබඳතාවක් ගොඩනඟා සිටි අතර පස්වරු 6.30 තෙක්ම ඇදහැලුණු වැස්ස තරගයට දැඩි බාධාවක් එල්ල කළේය. ඒ වන විට ශ්‍රී ලංකාව පැත්තෙන් නුවන් ප්‍රදීප් පන්දුවාර 5ක් යවා ලකුණු 23කට කඩුලු 1ක්ද, ධනංජය පන්දුවාර 5ක් යවා ලකුණු 30කට කඩුලු 1ක්ද ලබා ගත් අතර ලසිත් මාලිංග පන්දුවාර 5ක් යවමින් ලකුණු 37ක්ම ලබා දී කඩුලු හිමිකර ගැනීමට අසමත් වීමද කැපී පෙනිණි.

ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමක් සමඟ පැවැති 70 වැනි එක් දින තරගය මෙන්ම දෙරට අතර දඹුල්ලේදී පැවැති 6 වැනි එක් දින තරගය ලෙසද ඊයේ තරගය සටහන් වූ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවීම කණ්ඩායම් දෙකෙහිම බලාපොරොත්තු මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේද බලාපොරොත්තු කඩවීමකි. ක්‍රීඩාංගණයට පැමිණ සිටි නරඹන්නන් අතර විදෙස් ජාතිකයින් 1,000ක් පමණ සිටීමද විශේෂත්වයක් වූ අතර මේ දිනවල වැස්සෙන් ඇතිවන බාධාවන්ට විසඳුමක් වශයෙන් අනිද්දා (13දා) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන 2 වැනි එක් දින තරගය සඳහා අතිරේක දිනයක් ලෙස පසු දිනය (14දා) වෙන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon