වැලි ගොඩදමන සමාගමේ දූෂණ හෙළි කළ පිරිසට මරණීය තර්ජන

  👤  1101 readers have read this article !
By mawbima 2018-10-11

මනම්පිටිය - නිමල් ජයරත්න

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයෙන් වැලි ගොඩ දමන පෞද්ගලික සමාගම හා ඊට සම්බන්ධ දේශපාලන ආධාරකරුවන් විසින් සිදුකරන වංචා දූෂණ, අක්‍රමිකතා හෙළිදරව් කළ තම නිලධාරීන්ට පාතාල කල්ලියක කිහිප දෙනකු පිස්තෝල හිසට තබා මරණීය තර්ජන කරන බව මහවැලි එක්සත් ටිපර් රථ සංගමයේ උප සභාපති එච්.ජී. සුසන්ත ප්‍රේමලාල් මහතා පැවැසීය.

නිලධාරීන් හා සාමාජිකයන් කිහිප දෙනකු විසින් 10දා නැඟෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රේමලාල් මහතා ඒ බව හෙළි කළේය.

මහවැලි එක්සත් ටිපර් රථ සංගමයේ කාරක සභිකයකු වන වික්‍රමසූරිය මහතාට ඉකුත් 8දා මහවැලි ගඟට එමින් සිටියදී මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි සිවුදෙනකු පිස්තෝල දික් කර මරණ තර්ජන කර පලාගිය බවත් ඒ පිළිබඳව වික්‍රමසූරිය මහතා 8දා පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ප්‍රේමලාල් මහතා කීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් තම ටිපර් රථ සංගමයේ සාමාජිකයන් මුහුණපාන ගැටලුව විස්තර කළ සුසන්ත ප්‍රේමලාල් මහතා

මනම්පිටිය වැලි සමාගම මඟින් ටිපර් රථ රියැදුරන් 800ක් පමණ දිගින් දිගටම අසාධාරණකම් හා විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ දෙනවා. මේ සමාගමෙයි රජයේ නිලධාරීන්ගෙයි ජනාධිපති ලේකම්වරයකුගෙයි ටිපර් රථවලට පමණයි වැලි පටවන්නේ. ඒ අය ටෝගන් දාලා විවිධ අක්‍රමිකතා කරලා හැම තැනටම වැලි අදිනවා. ජනාධිපතිතුමා කියලා තියෙන්නේ හැමෝටම සාධාරණයක් වන පරිදි වැලි පැටවීම් කටයුතු කරන්න කියලා. නමුත් ඒ උපදෙස්
පිළිපදින්නේ නැතිව සමාගමේ නිලධාරීන්ටයි ජනාධිපති පෞද්ගලික ලේකම්ගේ හිතුමතේටයි තමා සියලු දේ වෙන්නේ. අපි මේ ගැන විවිධ අවස්ථාවලදී මාධ්‍යට හෙළිදරව් කළා. ඒකට පළිගැනීමක් ලෙස අපේ ලොරිවලට මාසයකට වරක් දෙවරක් විතරයි වැලි පටවන්නේ. දැන් අපේ සාමාජිකයන්ට මරණ තර්ජන පවා එල්ල වෙලා.

මෙහිදී තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති මහවැලි එක්සත් ටිපර් රථ සංගමයේ කාරක සභික එම්.ආර්.ජී.එස්. වික්‍රමසූරිය මහතා දැන් පොළොන්නරුවේ මනම්පිටිය වැලි මංකඩ ළඟත් පාතාලය ක්‍රියාත්මක වෙනවා.

මම ඒ සමාගමේ වංචා දූෂණ හෙළි කළා කියලා පසුගිය 8දා කොටලීය ප්‍රදේශයේදී බයික් දෙකකින් ආපු හතර දෙනෙක් මට පරුෂ වචනයෙන් බැනලා පිස්තෝලයක් දික් කරලා උඹ වැලි ප්‍රශ්නවලට අතදාන්න එපා කියලා මරණ තර්ජනය කළා. නම්බර් ප්ලේට් වහගෙන ෆුල්ෆේස් හෙල්මට් දාපු අය තමා මට එහෙම තර්ජනය කළේ.

මම මේ ගැන පොළොන්නරුව පොලිසියට පැමිණිලි කළා. අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලන්නේ මනම්පිටිය වැලි මාෆියාව සොයා බලා අපිට සාධාරණයක් කරන්න කියලා. මෙහෙම ගියොත් හෙට අනිද්දා මනම්පිටිය වැලි තොටුපොළ ළඟ මිනී මරා ගනීවි. ඊට පෙර මේ වැලි ජාවාරම්කරුවන් ගැන සොයාබලා ක්‍රියාමාර්ගයක් අරන් අපිට සාධාරණයක් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon