පස් කන්දකට යට වී කම්කරුවෙක් මරුට

  👤  1119 readers have read this article !
By mawbima 2018-10-11

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

මහරගම, ඇල්හේන පාර ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ඊයේ (10දා) අත්තිවාරම් බේස් වළක් හාරමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් එම වළ ආසන්නයේ පිහිටි පස් බැම්මක් කඩා වැටීමෙන් පස්වලට යට වී එක් කම්කරුවකු මියගොස් අනෙක් කම්කරුවා බරපතළ තත්ත්වයේ පසුවූ බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මහරගම පොලිසිය පවසයි.

මෙම කම්කරුවන් දෙදෙනා සහ අනෙක් කම්කරුවන් උදෑසන සේවා ආරම්භයෙන් පසු කම්කරුවන් දෙදෙනෙක් මෙම බේස් වළ හෑරීමට පටන්ගෙන ඇති බවත් අඩි හතරක් පමණ ගැඹුරට මෙම වළ හාරමින් සිටියදී එකවරම අසල තිබූ පස් කණ්ඩිය කඩා වැටී දෙදෙනාම පස්වලට යටවී සිටියදී අනෙක් කම්කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් දරා විනාඩි පහළොවක් පමණ කාලයකදී පස් ඉවත් කර දෙදෙනාම වළෙන් ඉවතට ගෙන ඇති නමුත් ඒ වනවිටත් එක් අයකු මියගොස් සිට ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ උතුරු ගෝනගල, රුවන්වැල්ල පදිංචි ගොඩකුමාරගේ ශාලික රුවන් කුමාර නමැති 22 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. තුවාල ලබා සිටින පුද්ගලයා කසුන් චින්තක පත්මපාල නමැති දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක අයෙක් බවත් පොලිසිය පැවැසීය. මේ කම්කරුවන් දෙදෙනා වළ හාරන අවස්ථාවේ අනෙක් කම්කරුවන් තේ පානය සඳහා වැඩ බිමෙහි තනා ඇති තාවකාලික මඩුව වෙත පැමිණ සිට ඇති අතර මොවුන් දෙදෙනාද තේ පානය සඳහා ඒමට සූදානම් වූ අවස්ථාවේ ක්ෂණිකව පස්කන්ද කඩාවැටී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

අනාරක්ෂිත තත්ත්වයෙන් ඇති වැඩබිමේ සේවයේ යෙදී සිටි කම්කරුවන් දෙදෙනා සේවයේ යෙදවූ වැඩබිමෙහි අයිතිකරුට සහ ගොඩනැඟිල්ල ඉදිකිරීමට භාරදී ඇති කොන්ත්‍රාත්කරුට නීති මඟින් කටයුතු කරන බව මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී.එස්. මීඩ්න් මහතා පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක පාරින්ද කොටුගොඩ මහතා එම ස්ථානයට පැමිණ පැවැත්වීය.

වැඩිදුර පරීක්‍ෂණ මහරගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හෙන්නායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රිෂාඩ්, පොලිස් සැරයන් අබේරත්න (43884), තිලකරත්න, පොලිස් කොස්තාපල් රුවන් (41127) යන නිලධාරීන් සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon