අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අක්මීමන - මීගොඩ කදුරුගස්හේන වැලිහේන ප්‍රදේශවලට අකුණු සැර

  👤  1089 readers have read this article !
By mawbima 2018-10-11

මාපලගම - රසික සෙනවිරත්න

මීගොඩ ප්‍රදේශයේ නිවාස 07කට, හියාරේ කදුරුගස්හේන ප්‍රදේශයේ නිවාස 07කට හා වැලිහේන ප්‍රදේශයේ එක් නිවාසයකට අකුණුසර වැදි ඇති බැව් අක්මීමන ප්‍රාදේශීය ලේකම් තුෂාරි ජාගොඩ මහත්මිය අක්මීමන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සඳහන් කළාය. අකුණුසැර වැදීමෙන් හියාරේ කදුරුගස්හේන ප්‍රදේශයේ නිවෙසකට බරපතළ හානි වී ඇත.

අක්මීමන ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි. සන්ධානයේ මන්ත්‍රි තුෂාර සඳරුවන් මහතා,
හියාරේ කදුරුගස්හේන ප්‍රදේශයේ තියෙන පෞද්ගලික දුරකථන සමාගමකට අයත් කුලුනක් නිසා අකුණුසැර වදිනවා කියලා ඒ ප්‍රදේශයේ ජනතාව පවසනවා. මීට කලින් මේ විදියට අකුණුසැර වැදී නැති බව තමයි ඒ අය කියන්නේ. අකුණුසැර වැදීමෙන් නිවාසවලට හානි වෙලා තියෙනවා.

අක්මීමන ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ.කේ. සුගත් ආනන්ද මහතා (ජ.වි.පෙ)
අකුණුසැර වැදීම මීට කලින් ඉඳලා තිබූ ප්‍රශ්නයක්. පෞද්ගලික දුරකථන සමාගමක් මඟින් ඉදිකොට ඇති සංඥා කුලුනක් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මීට පෙර නිවාසවල විදුලි උපකරණවලට වූ හානිවල නිවෙස් හිමියන්ට අදාළ සමාගම මඟින් වන්දි ගෙවලා තියෙනවා. ඒ නිසා මේ කුලුනේ ප්‍රමිතිය ගැන පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලා සිටිනවා.

දැනට ඉදිකොට ඇති සංඥා කුලුනේ ප්‍රමිතිය ගැන පරීක්ෂණයක් කොට එය සුදුසු තත්ත්වයෙන් තිබේද කියා සොයා බලන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිය යුතු බැව් මෙහිදී දකුණු පළාත් සභා මන්ත්‍රි චානක මාදුගොඩ මහතා කීවේය. සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා,

අකුණු සන්නායක තිබුණා නම් අකුණු වදින්නේ නැහැ. පොලිසිය මේ ගැන පරීක්ෂණයක් කරන්න. මෙකී සංඥා කුලුන නිසා අකුණුසැර වැදුනා කියලා හරියට කියන්න බැහැ. ඒ නිසා විදුලි සන්දේශ නියාමන
කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරමු මේ ගැන පරීක්ෂණයක් කරලා වාර්තාවක් ලබාදෙන්න කියලා. මේ ගැන සෙවීමට සම්බන්ධීකරණ කමිටුව මඟින් කමිටුවක්ද පත්කරමු. සම්බන්ධීකරණ කමිටු රැස්වීම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon