ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම අමාත්‍යාංශය හිතා මතා මඟහරිනවා

  👤  1121 readers have read this article !
By mawbima 2018-10-11

උදේනි සමන් කුමාර

ත්‍රිරෝද රථ සඳහා නියමිත ගාස්තු සටහන් වන මීටරයක් අනිවාර්ය කිරීම ප්‍රවාහන අමාත්‍යංශය හිතා මතාම මඟහරිමින් සිටින බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය චෝදනා කරයි.

පසුගිය 2017 වසරේ සැප්තැම්බර් 1දා ප්‍රවාහන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඔක්තෝබර් 1දා සිට සෑම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහාම ගාස්තු සඳහන් වන මීටරයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට නියම කළ නමුත් අවුරුද්දක් ගත වී ඇතැත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව එම වෘත්තීය සමිතියේ ලේකම් ලලිත් ධර්මසේකර මහතා පවසයි.

පසුගියදා ප්‍රවාහන ඇමැතිවරයා කැඳවූ සාකච්ඡාවකදී නැවතත් මෙම නීතිය බලගැන්වීම පස්සට දමා ඇති බවද හෙතෙම පැවැසීය. ත්‍රිරෝද රථ මීටර් සඳහා ප්‍රමිති සහතිකය තවමත් ලබාගත නොහැකි වීම එයට හේතුව වශයෙන් ඇමැතිවරයා පවසා ඇති බවද හෙතෙම කීය.

ප්‍රවාහන අමාත්‍යාංශය ත්‍රිරෝද රථ මීටරය සඳහා ප්‍රමිති සහතිකයක් ලබා ගැනීමට එය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට වන අතර නමුත් අදාළ ආයතනය වන්නේ රජයේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව බවද ත්‍රිරෝද සංගම් පෙන්වා දෙයි. 2013 ගැසට් පත්‍රයට ඇතුළු කර තිබූ තාක්‍ෂණික කමිටුව 2017 ගැසට් පත්‍රයෙන් ඉවත් කර තිබීමද මෙම අවුල දිග්ගැස්සීමට හේතුවන බවද ධර්මසේකර මහතා පැවසීය.

ත්‍රිරෝද රථ කෙරෙහි මගී විශ්වාසය බිඳ වැටීම නිසා බහු ජාතික ටැක්සි සමාගම්වලට මෙරට මගී ප්‍රවාහනයට ඇතුළු වීමට අවස්ථාව විවර වී ඇති බව ද ශ්‍රී ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon