තෙල් මිල ඉහළ යන ආරංචියත් සමඟ සවස තුනේ සිට සංස්ථාවත් ඉන්දියානු සමාගමත් බෙදුම්පළවලට තෙල් නිකුත් කර නැහැ

  👤  1125 readers have read this article !
By mawbima 2018-10-11

ධර්මප්‍රිය ලියනආරච්චි

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ මැදියම් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවට තිබූ ආරංචිත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම (ධ්ර්ණීඛ්) බෙදුම්පළ සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ පස්වරු තුනේ පමණ සිටම නතර කර දැමීම නිසා පිරවුම්හල් හිමියෝ දැඩි අපහසුතාවට පත්වූහ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවැසුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ පෙරවරුවේ ගබඩාවලට ඇතුළු කළ තමන්ගේ ටැංකි රථවලටද ඉන්ධන දී නොමැති බවයි.

මෙම තත්ත්වය කොළොන්නාව, මුතුරාජවෙල සහ ත්‍රිකුණාමලය ප්‍රධාන ගබඩාවලදී පමණක් නොව මාතර, අනුරාධපුර, කුරුණෑගල හා මධ්‍යම ගබඩාවලද ක්‍රියාත්මක වීම නිසා ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ රාත්‍රිය වන විට අනවශ්‍ය ඉන්ධන හිඟයක්ද මැවිණි.

ඇතැම් ඉන්ධන තොග සඳහා බෙදුම්කරුවන් කල් තබා මුදල් ගෙවා තිබී ඇතිවාක් මෙන්ම ඉන්ධන පිරවූ බවුසර් රථවලට පිටවීමට නොදී රඳවාගෙන ඇත.

නිශ්චිත නිල නිවේදනයකින් තොරව හිතුවක්කාරී ලෙස බලධාරීන් ගත් මෙම ක්‍රියා මාර්ගය නිසා ඉන්ධන පිරවුම් හල් හිමියන් මෙන්ම ටැංකි රථ කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවට පත් වූ බවත් එමඟින් රට පුරා සිටින පාරිභෝගිකයෝද පීඩාවට පත් වූ බවත් ඔහු පැවැසුවේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම අත්තනෝමතික ලෙස ගත් මෙම තීරණයෙන් තමන්ට සිදුවූ පාඩුව සහ අපහසුතාව වෙනුවෙන් වන්දි අයකර ගැනීමේ ක්‍රියා මාර්ගයකට යන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon