බෑග් 2,300කට විදපු සිද්ධිය ජනපති ලේකම් කාර්යාලයෙන් ‍ෙදාට්ට දැමූ අධ්‍යක්ෂ රිමාන්ඩ්

  👤  2901 readers have read this article !
By mawbima 2018-10-11

අමිල අබේරත්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ නිකුත් කළ ලිපි සහ ව්‍යාජව සකස් කළ වවුචරපත් ඉදිරිපත් කර පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් දරුවන්ට බෙදාදීම සඳහා පාසල් බෑග් ලබාගෙන වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයකු සහ හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සම්බන්ධීකරණ නිලධාරිනියක මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (10දා) නියෝග කළාය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රුවන් ධර්මප්‍රිය එදිරිසිංහ සහ ෂෙරීන් ඔස්මන්ඩ් නමැති කාන්තාවකි.

පරිත්‍යාග වශයෙන් බෑග් 2300ක ප්‍රමාණයක් සඳහා මිලියන 39ක මුදලක් තානාපති කාර්යාලයෙන් ලබාදී ඇති අතර, ඔවුන් අදාළ ඉල්ලීම කර ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පාසල්වල ළමයින්ට පාසල් බෑග් බෙදා දීමේ කටයුත්තක් සඳහාය.

ඒ සඳහා ඔවුන් දෙදෙනා තානාපති කාර්යාලයෙන් පරිත්‍යාගයක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයෙන් අදාළ මුදල් ලබාදී ඇත.

එම දෙදෙනා එකී ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපි සහ ව්‍යාජව සකස් කළ වවුචර් පත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ බෑග් 2300ක ප්‍රමාණයක් තානාපති කාර්යාලය ලබාදුන් මුදල් යොදවා "ග්‍රීන්ලන්ඩ් කොමියුනිටි" නමැති ආයතනයකින් මිලදී ගෙන ඇති බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ලිපි නිකුත් කිරීම සහ එවැනි ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයාට කිසිදු බලයක් ලබාදී නොමැති බව ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂවරයාගෙන් සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශයකදී ඔහු ප්‍රකාශ කර ඇති බවද, වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට දන්වා සිටි අතර, සිද්ධියට අදාළව මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් සහ පාසල් බෑග් ඇණවුම් කළ සමාගමේ නිලධාරීන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබාගෙන වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය එම නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon