‘ටිට්ලි’ සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට

  👤  2654 readers have read this article !
By mawbima 2018-10-11

ඉෂාරා සිල්වා

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "ටිට්ලි" සුළිකුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වීමත් සමඟ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ උෟව පළාත්වල වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු මේ වනවිට මියගොස් තිබේ. විදුලිසැර වැදීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 06 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දියේ ගසාගෙන යෑම හේතුවෙන් රත්නපුර හා කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු සහ ගස් කඩාවැටීම හේතුවෙන් කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇත.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 16ක පවුලේ 17,303කට අයත් පුද්ගලයෝ 69,583 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ ආරක්ෂිත ස්ථාන 28ක පවුල් 2,641කට අයත් පුද්ගලයන් 12,453 දෙනකු රඳවා සිටින බවයි.

ගංවතුරට කොටු වී සිටින ජනතාවට සහ ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින ජනතාවට පිසූ ආහාර හා වියළි සලාක ලබාදීම සිදුකරන බවත් තවදුරටත් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව සහන සේවා කටයුතු සිදුකරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

වර්ෂාවත් සමඟ නාරාහේන්පිට - චිත්‍රා පටුමඟෙහි මාර්ගයේ කොටසක් ගිලා බැසීමක් සිදුව ඇත. මාර්ගය නැවත පිළිසකර කරන තුරු එම පටුමඟ තාවකාලිකව වසා දමා තිබේ.

මේ අතර හැටන් - මස්කෙළිය - බගවන්තලාව - බළන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයද එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත. මාර්ගයේ ඇතැම් ස්ථානවලින් නාය යෑමේ අවදානමක් මතුව ඇති බැවින් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

කුකුළේ ගඟ ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ වාන්‍ෙදාරටු 01 බැගින්ද රාජාංගණය ජලාශයේ වාන් ‍ෙදාරටු 09ක්, දැදුරු ඔයේ වාන්‍ෙදාරටු 03ක් තවමත් විවෘතව පවතින බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම, බෝපේ - පෝද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, උණන්විටිය, ‍ෙදාඩන්ගොඩ ප්‍රදේශත්, කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ‍ෙදාඩම්ගොඩ, මදුරාවල, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, මෝල්කාව, වෙල්ගම, පරගොඩ, රැටියල, කරන්නාගොඩ ප්‍රදේශත් තවමත් සුළු වශයෙන් ජලයෙන් යටවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉදිරි පැය 24 සඳහා රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

හදිසි අපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බවත් දැනටමත් දිස්ත්‍රික්ක 6ක ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහාය ඇතිව සහන සේවා කණ්ඩායම් ස්ථානගත කර තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසුවේය.

ආපදා හේතුවෙන් නිවාස 39කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 1,899කට අර්ධ හානි සිදුව තිබේ. ජාතික ආපදා සහන සැලසීමේ මධ්‍යස්ථානය විසින් මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියන 28.45ක් වෙන්කර ඇති බවත් දිස්ත්‍රික්ක 05ක හානිවූ නිවාස සඳහා මූලික ගෙවීම රුපියල් 10,000 බැගින් සිදුකිරීමට රුපියල් මිලියන 10.5ක මුදලක් වෙන්කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon