එක්නැලිගොඩ ගැන තොරතුරක් නොදුන්නොත් සියල්ලන්ටම ශාප කරනවා -සන්ධ්‍යා එක්නැලිගොඩ

  👤  2754 readers have read this article !
By mawbima 2018-10-11

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්,
මහනුවර - නදීක දයා බණ්ඩාර

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් කළ දා සිට අපරාධකරුවන්ට දඬුවම් දෙන්නැයි කියමින් සඳකිඳුරු ජාතකයේ කිඳුරිය ලෙස තමා සෑම තැනකම සෑම දෙනා ළඟම හඬා වැටෙන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළාය.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු තම සැමියන් සහ දරුවන් අහිමි වූ පිරිසක් ඊයේ (10දා) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සත්‍යක්‍රියාවක් කරමින් "සඳ කිඳුරු" ජාතකයේ කවි ගායනා කළහ.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේද කීවාය.

"මගේ සැමියා වන ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වෙලා මේ වන විට දින තුන් දහස් එකසිය අසූ එකක් වෙනවා. මගේ සැමියා සොයාගෙන මම රට පුරා යනවා. දළදා හිමියන්ගේ සෙවණ යටතේ, පැවැති රජය සමයේ මගේ සැමියා අතුරුදන් කළා. ඒ අපරාධය කළ අපරාධකරුවන් එළියට නොදී ඒ අය හමුදාව විසින් ආරක්‍ෂා කරගෙන සිටිනවා. ඒ නිසා මේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. මම අද සඳකිඳුරු ජාතකයේ කිඳුරිය ලෙස සෑම තැනම, සෑම දෙනා ළඟම හඬා වැටෙනවා. ඒත් තවමත් සත්‍ය සහ යුක්තිය මට ලැබුණේ නැහැ. මම වගේ තවත් බොහෝ මවුවරුන් බිරින්දෑවරුන් මේ රටේ සිටිනවා. ඒ නිසා මේ පොළොවේ සත්‍ය හා යුක්තිය ලබා ගන්න අද මම අධිෂ්ඨාන පූජාව කරනවා යැයි එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළාය.

"මම මීට දින ‍ෙදාළහකට පෙර මගේ සැමියා අතුරුදන් කළ අපරාධකරුවන්ගේ තොරතුරු ලබා දෙන්න කියලා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ සමඟ ආරම්භ කළ මේ සත්‍ය සොයන ව්‍යාපාරයේ දෙවැනි කටයුත්ත ලෙස දළදා මාලිගාව ඉදිරිපිට ආශීර්වාද පූජාවක් පවත්වනවා. මම වගේම තවත් දරුවන් අහිමි වූ මවුවරුන් සහ සැමියන් අහිමි වූ කාන්තාවන් මේ ස¼දහා එක්ව සිටිනවා. අපිටයුක්තිය ඉෂ්ට කරන්න කියා අප සඳකිඳුරු ජාතකයේ කවි කියලා අප අධිෂ්ඨාන පූජාව සිදුකරනවා.

ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මීට දින ‍ෙදාළහකට පෙර ඉල්ලීමක් කළා. හමුදාවෙන් අපට ලබා නොදෙන තොරතුරු අපට ලබා දෙන්න කියලා. නොවැම්බර් 28 වැනි දිනට පෙර ඒ සත්‍ය තොරතුරු මට ලබා නොදුන්නොත් මම විශාල ලෙස ශාප කරනවා. මම සර්ව ආගමික වශයෙන් මේ සියලු සිද්ධස්ථානවලට ගොස් සාධාරණය ඉල්ලා සිටිනවා. මෙයට සම්බන්ධ අයගේ නම් පවා තවම තියෙන්නේ හමුදාවේ. ඒ නිසා බොරු තොරතුරු අධිකරණයට පවා ලබා දෙනවා. ඒ නිසා මේ තොරතුරු අපට ලබා දෙන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා යැයිද ඇය කීවාය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ ඇයගේ වැඩිමල් පුතු ද මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්හ.

අබ්දුල් වදුර් සිතිජමියා, අන්තර් ආගමික සාම පදනමේ විධායක ලේකම් ජයවීර කොහොඹන්ගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon