ජී.එල්ගේ ගෙදර රැස්වීමේදී මොකද වුණේ

  👤  2767 readers have read this article !
By mawbima 2018-10-11

පාර්ලිමේන්තුවේ ඊයේ (10දා) දින එක දිගට විනාඩි 16ක් පෞද්ගලික මාධ්‍යවලට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් දෙහි කැපුවාය. ඉතා උස් හ¾ඩින් වේගවත් ලෙස කතා කරමින් ඇය මෙසේ ‍ෙදාස් නැඟුවාය.

මෙසේ දෙහි කැපුවේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.

වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් හිරුණිකා ප්‍රකාශ කළේ තමා ප්‍රකාශ නොකළ දෙයක් පෞද්ගලික රූපවාහිනි නාළිකාවකින් පෙරේදා දින ප්‍රකාශය කළ බවයි.
තරුණයකු පැහැරගැනීම සම්බන්ධයෙන් හිරුණිකාට චෝදනා එල්ල වී තිබෙන නඩුව විභාග වන අවස්ථාවේදී හිරුණිකා වරද පිළිගත් බවට ප්‍රවෘත්තියක් පළ වූ බවත් එය අසත්‍යයක් බවත් හිරුණිකා පැවැසුවාය.

"වරද පිළිගන්න මං වරදක් කරලා නැහැ. ඒක නිසා අතීතයේදී මං වරද පිළිගන්නේ නැහැ. වර්තමානයේදී වරද පිළිගන්නෙත් නැහැ. අනාගතයේදීත් වරද පිළිගත්තේ නැහැ" යනුවෙන් කෑ ගසමින් හිරුණිකා කියා සිටියාය.

මං මගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කළත් මාධ්‍ය මඟින් ඒකට සාධාරණයක් ලබා දෙන්නේ නැහැ. අද ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය ත්‍රස්තවාදයක්. මේ මාධ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් මගේ කීර්ති නාමයට බලපෑම් ඇති වෙනවා. මට සාධාරණයක් ඉටුකරන්න" යනුවෙන්ද හිරුණිකා කෑ ගසමින් පැවැසුවාය.

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක හිටපු කට්ටියත් එක්ක එදා බය නැතිව හැප්පුණු මට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක මං ඉන්න වෙලාවේ කාත් එක්කවත් හැප්පෙන්න මං බය නැහැ" යනුවෙන්ද හිරුණිකා ඉතා වේගවත්ව අවධාරණය කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ජ්ඛ්ධ්ච් වෙතටද හිරුණිකා මෙහිදී චෝදනාත්මක ස්වරූපයෙන් කතා කිරීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නෝර්වේ සහ එංගලන්ත සංචාර නිමාකර යළි මෙරටට පැමිණියේ ඊයේ (10දා) දින උදෑසන 8.30ට පමණය.

උදෑසන 9.30ට පමණ කොළඹ 02, 5 වැනි පටුමඟ පිහිටි තම නිවෙසට ගිය අග්‍රාමාත්‍යවරයා ටික වේලාවක් විවේක ගෙන කෙළින්ම පැමිණියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කමිටු ශාලා අංක 01 වෙතටය.

අග්‍රාමාත්‍යවරයා පැමිණීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ආරම්භ කෙරිණි.

නොවැම්බරයේ අය-වැය විවාදය ආරම්භ වන බවත් එම නිසා සියලුම දෙනා අය-වැය විවාදයට අනිවාර්යයෙන්ම සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කළේය.

කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීම් ඉල්ලා සිටීමට ඉඩ තිබෙන නිසා විදෙස්ගත වීමෙන් වැළකී අය-වැය විවාදයට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

මේ අතර 09 වැනිදා රාත්‍රි තිඹිරිගස්යායේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේදී පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාව පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වූයේ රාත්‍රි 7.00ට පමණය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ජේ‍යෂ්ඨයෝ පිරිසක් මීට එක්ව සිටියහ. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මෙම විශේෂ දේශපාලන රැස්වීමට එක්ව සිටියහ.
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහ කෙරෙන විකල්ප ආණ්ඩු, සභාග ආණ්ඩු මාතෘකා පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීම ඇතුළු වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාව කැඳවීමේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මුලින්ම අදහස් දැක්වූයේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. ඉන්පසුව බොහෝ දෙනෙක් අදහස් දක්වන්නට වූහ.

සියලුම දෙනා ප්‍රකාශ කළේ රට විනාශ කිරීමට මෙම ආණ්ඩුවට ඉඩ ලබා නොදී කඩිනමින් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ලබාගෙන මෙම ආණ්ඩුව පරාජයට පත් කළ යුතු බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ප්‍රකාශ කළේ රට බේරාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගෙන යා යුතු වැඩසටහන කුමන අභියෝග පැමිණියද දිගටම කරගෙන යා යුතු බවයි.

මෙම ආණ්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ගෙන යා යුතු ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පැවැරීමටද මෙහිදී තීරණය කෙරිණි.

රාත්‍රි 7 සිට රාත්‍රි 10.30 දක්වා මෙම සාකච්ඡාව පැවැති අතර ඉන් අනතුරුව ජී.එල්. පීරිස්ගේ නිවෙසේ සකස් කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයටද මෙම සියලුම දෙනා සහභාගි වූහ.

අලි රොෂාන් ගැන පසුගිය දිනවල කතාබහ වූයේ අලින් ගැන කතා කරන විටදීය. පාර්ලිමේන්තුවේද අලි රොෂාන් කෙනකු සිටී. පාර්ලිමේන්තුවේ අලි රොෂාන් ද කතා කරන්නේ අලින් ගැනය.

අලින් ගැන කතා කරන නිසා අලි රොෂාන් වුණාට එම මන්ත්‍රිවරයා නම් අයත් වන්නේ අලියාගේ සලකුණ දරන එක්සත් ජාතික පක්ෂයට නම් නොවේ.
මෙම අලි රොෂාන් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහය.

අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලි-මිනිස් ගැටුම් උග්‍ර වී ඇති බවත් වන අලින්ගේ ප්‍රහාර හේතුවෙන් මනුෂ්‍යයන් 20 දෙනකු පසුගිය කෙටි කාලය තුළ ඝාතනය වී ඇති බවත් ප්‍රකාශ කරමින් අලි වැටවල් ඉදිකිරීමේ ප්‍රබල මාෆියාවක් පවතින බව ප්‍රශ්නයක් ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමටද රොෂාන් රණසිංහ පියවර ගත්තේය.

"අලි වැටවල් ඉදිකිරීමේ ප්‍රමිතිය හොඳටම අබලන් වෙලා. අඩි 8 1/2ක් උස කණු අඩි 7 1/2ක් දක්වා අඩු කරලා තියෙනවා. පොළොවෙ යටට දාන්නේ කණුවෙන් අඩි 1 1/2යි. රජයෙන් විශාල මුදලක් වියදම් කළත් ප්‍රමිතියක් නොමැතිව ඉදිකරන මෙම අලි වැටවල්වලින් නිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශ මඟින් ඉදිකරන අලි වැටවල් කඩාගෙන අලින් එන්නේ නැහැ. නමුත් රජයෙන් ඉදිකරන අලි වැටවල් කඩාගෙන අලින් එනවා. මේ ගැන වහාම අවධානය යොමු කරන්න" යනුවෙන් රොෂාන් රණසිංහ විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මේ ගැන අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය

ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයා කඩිසර ගමනින් පැමිණෙන විට පාර්ලිමේන්තුවේ පළමු මහලේ පුස්තකාලය අසලදී පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මුණගැසුණේය.

"මේ බලන්නකෝ නියෝජ්‍ය කථානායකතුමා එන්න එන්න තරුණ වෙනවා. ලස්සන වෙනවා. අපි මෙන්න වයසට යනවා" යනුවෙන් ෆයිසර් මුස්තාපා කියපු කතාවට ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයා මහ හයියෙන් සිනාසුණේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon