නඩුවට ආදාළ ලේඛනවල මුල් පිටපත් නැති බව නීතිපති පිළිගනී

  👤  3041 readers have read this article !
By mawbima 2018-10-11

කේ.එස්. උදය කුමාර්

රාඩා නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (10දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් රණවක අමාත්‍යවරයාට යළි ලබන 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

මෙම නඩුව ඉකුත් 04 වැනිදා කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු කළුආරච්චි මහතා නඩුවේ දෙවැනි සාක්ෂිකරු ලෙස නම්කර තිබූ අමාත්‍ය චම්පික රණවක මහතාට සාක්ෂි දීම සඳහා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්න යැයි සිතාසි නිකුත් කර තිබිණි.

එහෙත් මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ අමාත්‍ය රණවක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ කලින් යොදාගත් රාජකාරි කටයුත්තක් සඳහා තමාට පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට සිදුව ඇති හෙයින් අධිකරණය වෙත පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව රණවක ඇමැතිවරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි.

ඒ අනුව සාක්ෂිකාර චම්පික රණවක ඇමැතිවරයාට ලබන 18 වැනිදා පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කිරීමට විනිසුරු කළුආරච්චි මහතා නියෝග කළේය.
ඉන් අනතුරුව සාක්ෂිකරුවකු ලෙස අධිකරණය හමුවට කැඳවා තිබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරිණි.
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මතු කළ ප්‍රශ්නවලට ලලිත් වීරතුංග මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදී.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : රාඩා ආයතනය ගැන ඔබ මොනවාද දැනගෙන හිටියේ.

සාක්ෂිකරු : ඉදිකිරීම් හා නැවත ප්‍රතිසංස්කරණය සඳහා පිහිටුවූ ආයතනයක් බව දැනගෙන හිටියා.

රාඩා නමින් ආයතනයක් නිර්මාණය කළේ ඇයි?

සුනාමියෙන් රට පුරා විශාල විනාශයක් සිදුවුණා. එම විනාශයෙන් රට ගොඩගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් ආයතන කිහිපයක් පිහිටුවා තිබුණා. 2005 වසරේ නව රජයක් බලයට පත්වීමෙන් පසුව එම සියලු ආයතන එක් කර 'රාඩා' ආයතනය ස්ථාපිත කළා.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : 'රාඩා' යනුවෙන් ආයතනයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාට බලයක් තිබෙනවාද?

සාක්ෂිකරු : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි ආයතන ස්ථාපිත කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : රාඩා ආයතනය පිහිටුවීමට අදාළ ආඥාව ඇතුළත් ලිපිය ඔබට හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : දැක්කොත් හඳුනාගන්න පුළුවන්.

එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ලිපියක් සාක්ෂිකරුට පෙන්වීය. එම අවස්ථාවේදී විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් විරෝධතාවක් මතුකරන ලදී.

විත්තියේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා :

ස්වාමිනී, ලේඛනවල ඡායා පිටපත් ඉදිරිපත් කරනවා නම් එහි මුල් පිටපත පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කර නඩුවක් පවත්වාගෙන යන්න බැහැ. මෙම ඉල්ලීමට අපි විරුද්ධ වෙනවා. මෙය අධිකරණ ක්‍රියාවලිය විකෘති කිරීමක්.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : ස්වාමිනී, මෙම රාඩා ආයතනයට අදාළ මුල් ලේඛන නැහැ. ඒවා විනාශ වෙලා.නැතිනම් විනාශ කරලා. ඒ නිසා අපි ළඟ තිබෙන ලේඛන මත තමයි නඩුව පවත්වාගෙන යන්නේ.

විත්තියේ ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා : ස්වාමිනී! මෙම නඩුව පැවරීමට පෙර පරීක්ෂණ අවධියේ මාගේ සේවාදායකයාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය විවිධ ලේඛන පෙන්වා ප්‍රශ්න කර තිබෙනවා. එම අවස්ථාවේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා එම ලේඛනවලට අදාළ මුල් ලේඛන පෙන්වන ලෙස මාගේ සේවාදායකයා පොලිසියෙන් විමසා තිබෙනවා. එවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා එම ලේඛනවල මුල් පිටපත් නොමැති බවට. ඔහු එම ලේඛන නොමැති බවට සටහනක්ද යොදා තිබෙනවා.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : ස්වාමිනී! මුල් ලේඛන නොමැති බව කියමින් රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මූල්‍ය වංචා යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ.

විත්තියේ ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා :

ඡායා පිටපත් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනවා නම් එය සිදුකළ යුත්තේ සාක්ෂි ආඥා පනතට අනුකූලවයි. එසේ නොමැතිව ඉදිරිපත් කරන ඡායා පිටපත් සහිත ලේඛන ප්‍රතික්ෂේප කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ඉන් අනතුරුව මීට අදාළව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ මෙම නඩුවේ සාක්ෂි ලෙස ලේඛනවල ඡායා පිටපත් ඉදිරිපත් කරන්නේ නම් ඊට අදාළව ද්විතියික සාක්ෂි මෙහෙයවා එම ලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ අධිකරණය සෑහීමකට පත් කළ යුතු බවයි. සාක්ෂි ආඥා පනත යටතේ එසේ තහවුරු කරනු ලබන ලේඛන පමණක් සාක්ෂි වශයෙන් පිළිගන්නා බවද මෙම නියෝගය තුළින් විනිසුරු කළුආරච්චි මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සාක්ෂිකාර ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න ඇසීම සඳහා යොමුකර ඇති ලේඛනය ඔහු විසින්ම අස්සන් කරන ලද්දක් බැවින් එම ලේඛනය පෙන්වා ප්‍රශ්න කිරීමට අවසර දෙන බවද විනිසුරුවරයා නියෝග කළේය.

මෙහිදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ සාක්ෂිකාර ලලිත් වීරතුංග මහතා අවංක කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු ලෙස තමා පිළිගන්නා බවත් එබැවින් ඔහු සත්‍ය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තියේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා නීතිපතිවරයා විසින් ලලිත් වීරතුංග මහතා කැඳවීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් යැයි කීවේය.

ඉන් අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මතුකළ ප්‍රශ්නවලට ලලිත් වීරතුංග මහතා පිළිතුරු ලබා දුන්නේය.

රජයේ නි. සොලිසිටර් ජනරාල් :

රාඩා ආයතනය ස්ථාපිත වුණාට පස්සේ ඔබට එම ආයනය සමඟ සම්බන්ධයක් තිබුණාද?

සාක්ෂිකරු : මෙම ආයතනයේ ප්‍රධාන ගිණුම් නිලධාරියා මමයි.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : මුදල් ප්‍රතිපාදන ලබාගැනීම ඔබේ අනුදැනුම මතද සිදුවන්නේ?

සාක්ෂිකරු : නැහැ ස්වාමිනී. කෙළින්ම මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්නා අවස්ථා තිබෙනවා. මෙය මුදල් රෙගුලාසි හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඉතා පරිස්සමෙන් පිළිතුරු දිය යුතුයි. මා මේ අවස්ථාවේ විවිධ ආතතීන්ට මුහුණ දීලයි ඉන්නේ. ඒ නිසා කීමට අපහසුයි.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : ඔබ මෙම නඩුවේ 1 වැනි විත්තිකාර ටිරාන් අලස් මහතා හඳුනනවාද?

සාක්ෂිකරු : ඔව්. රාජකාරිමය වශයෙන් තමයි ඔහු හඳුනාගත්තේ. ඔහුගේ පියා රාජකීය විද්‍යාලයේ මගේ ගුරුවරයා වශයෙන් සිටියා.

රජයේ නි. සොලිසිටර් ජනරාල් : රාඩා ආයතනයේ නිලධාරීන් සමඟ එම වකවානුවේ ඔබ සාකච්ඡා කර තිබෙනවාද?

සාක්ෂිකරු : නිශ්චිතව කියන්න බැහැ ස්වාමිනී.

ඉන් අනතුරුව විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මතුකළ හරස් ප්‍රශ්නවලට ලලිත් වීරතුංග මහතා පිළිතුරු ලබා දුන්නේය.

විත්තියේ ජනාධිපති නීතිඥවරයා

ඔබට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළේ ලිපියක ඡායා පිටපතක්. ඔබ සාක්ෂි ලබාදුන්නේ එම ඡායා පිටපතේ අඩංගු කරුණු කියැවීමෙන් පසුවයි. එහි මුල් පිටපත කියැවීමෙන් නොවෙයි.

සාක්ෂිකරු : එහෙමයි ස්වාමිනී.

විත්තියේ නීතිඥවරයා : අද තිබෙන තාක්ෂණය අනුව ඔබගේ අස්සන යොදා ව්‍යාජ ලේඛනයක් වුණත් සකස් කරන්න පුළුවන් නේද?

සාක්ෂිකරු: එහෙම කරන්නත් හැකියාව තිබෙනවා.

අනතුරුව සාක්ෂිකාර ලලිත් වීරතුංග මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන 18 වැනිදාට කල් තැබිණි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස රාඩා ආයතනයේ ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, ඇන්තනී එමිල් කාන්තන් සහ ජයන්ත ඩයස් සමරසිංහ යන අය නම්කර තිබේ.

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන දැනට අධිරණය මඟහැර සිටින ඇන්තනී එමිල් කාන්තන් වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෂානක රණසිංහ මහතා පෙනී සිටී. විත්තිකාර සාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින අතර හතර වැනි විත්තිකාර ජයන්ත ඩයස් සමරසිංහ මහතා වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon