දුම්රියේ හැපී මියගිය අයකුගේ සිරුර සමඟත් සෙල්ෆි ගහලා

  👤  3046 readers have read this article !
By mawbima 2018-10-11

කැලණිය - කුසුම් එස්. හැන්නදි

සෙල්ෆි උන්මාදය රටම ගිලගෙන ඇති බව පසුගිය කාලපරිච්ඡේදය තුළ සෙල්ෆි ගැනීමට ගොස් රටට අහිමි වූ වටිනා තරුණ ජීවිත පිළිබඳව මාධ්‍ය වාර්තාවලින් අපි දුටුවෙමු. රේල් පීලි මත, කඳු මත, පාලම් මත, අධිවේගී මාර්ගවල වැනි භයානක ස්ථානවල සිට සෙල්ෆි ගැසීමට ගිය බොහෝ තරුණ පිරිස එය මත ජීවිතයේ අවසාන ඡායාරූපය කරගත්හ.

මේ කතා පුවත ඊට වඩා වෙනස්ය.
ජීවත්ව සිටින මිනිසුන් සමඟ සෙල්ෆි ගැනීමට වඩා දුම්රියට පැන දිවිනසා ගත් තරුණයකුගේ මළ සිරුර අසල හිඳ සෙල්ෆි ගැසූ පිරිසක් පිළිබඳව පුවතක් 09 වැනිදා උදෑසන ගණේමුල්ල දුම්රිය ස්ථානයේදී අසන්නට ලැබිණි.

පසුගිය 08 වැනිදා රාත්‍රි ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්න ශ්‍රී බෝධි විදුහල අසලින් අධිවේගී දුම්රියකට පැන සියදිවි හානි කරගත් තරුණයකුගේ දෙකට වෙන්වූ සිරුර රඹුක්කන සිට කොළඹ කොටුව බලා භාණ්ඩ රැගෙන යන අංක 576 දුම්රියෙන් එදින රාත්‍රි 9.30ට පමණ ගණේමුල්ල දුම්රිය ස්ථානය වෙත ගෙනැවිත් භාරදී තිබිණි. දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් සිද්ධිය ගම්පහ පොලිසියට දැනුම් දීමෙන් පසුව ගම්පහ පොලිසියේ නිලධාරියකු පැමිණ පරීක්ෂණ පවත්වා තොරතුරු සටහන් කර ගැනීමෙන් පසු ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් කීපයක් දුන් නමුත් ඔහු කිසිම අවස්ථාවක ඇමතුමට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. ගණේමුල්ල දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට පසුවදා උදෑසන 8.30ට මේ සිදුවීමේ වාර්තාව ලබාගත් මොහොත වන තෙක් මරණ පරීක්ෂක සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබිණි.

සිද්ධියෙන් ඉමහත් අපහසුතාවට පත්වූ දුම්රිය සේවකයන්ට සිදුවුණේ මුළු රාත්‍රිය නිදිවර්ජිතව මළසිරුර මුර කිරීමටය. එයට හේතුව වට පිටාවේ සිටින සුනඛයෝය. සුනඛයන් පොදි පිටින් මළසිරුර අසලට ළඟා වෙද්දී සේවකයෝ ට්‍රොලිය පිටින්ම මළසිරුර හිස් බැරල් කීපයක් මත තබා ඇති අතර රැය පුරා බල්ලන් පැන්නීමටද ඔවුන්ට සිදුවී ඇත.
පසුදාට පහන් විය. මළසිරුර බැරල් මතය. රැකියාවට යෑමට පැමිණි සමහර තරුණ පිරිස් ට්‍රොලිය මත තිබූ මියගිය තරුණයාගේ සිරුර අසල හිඳ සෙල්ෆි ගැසීමට පටන් ගෙන ඇත. තරුණියක් පැමිණ සිද්ධිය දුම්රිය ස්ථානාධිපතිට පවසා ඇත්තේ මගීන්, මියගිය තරුණයාගේ සිරුර අසල හිඳ සෙල්ෆි ගසන බවයි.

පසුව එම තරුණිය විසින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ ලේන්සුවකින් මියගිය තරුණයාගේ මුහුණ වසා දමා තිබුණේය. සෙල්ෆි උන්මාදය කෙතරම්දැයි වටහා ගැනීමටත් සමාජය කෙතරම් දූෂණයට පත්ව තිබේදැයි තේරුම් ගැනීමටත් මේ සිදුවීම ප්‍රමාණවත් නොවේද?

දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකර ගත් තරුණයා පොළොන්නරවේ අරලගංවිල මල්දෙණිය ප්‍රදේශයේ අංක 80 දරන නිවෙසේ පදිංචිව සිටි ජයසිංහ ආරච්චිගේ අජිත් කුමාර නමැත්තකු බවත් සිය පෙම්වතිය අමනාප වීමේ වේදනාව දරා ගත නොහැකිව ඔහු මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවත් වාර්තා වේ. 09 වැනිදා උදෑසන ගණේමුල්ල දුම්රිය ස්ථානය වෙත පැමිණි මියගිය තරුණයාගේ සොහොයුරා බව කියන ස්වාමීන් වහන්සේ නමක් මේ මළසිරුර තම සහෝදරයාගේ බවට හඳුනාගෙන ඇත.
එක් අවාසනාවන්ත සිදුවීමක් තුළින් තවත් සිදුවීම් කීපයකට මුහුණපෑමට සිදු වනබවත් මරණ පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම නිසා දුම්රිය සේවකයන් ඉමහත් අපහසුතාවට පත්වූ බවත් ස්ථානාධිපතිවරයා පැවැසීය.

අසල්වාසී නිවෙස්වල සුනඛයන්ද, සිය හාම්පුතුන් ඇරලීමට දුම්රිය ස්ථානයට එන සුනඛයන්ද මේ වන විට එහි ලැගුම් ගැනීම හේතුවෙන් මගීන් මෙන්ම කාර්ය මණ්ඩලයත් අපහසුතාවට පත්වී ඇති බවත් ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් සිටිනවාද නැද්ද යන වගක් ඔවුන් නොදන්නා බවත් 08 වැනිදා රාත්‍රිය නිදි වර්ජිතව මළසිරුර මුර කළ ගණේමුල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයෝ පැවැසූහ.

ජීවත්ව සිටින්නන් සමඟ සෙල්ෆි ගැසීම, තනිව සෙල්ෆි ගැසීම අපට හොඳින්ම අසා පුරුදු නමුත් අවාසනාවන්ත ලෙස ආදරයෙන් පැරදී සියදිවි අකාලයේ අහිමි කරගත් අහිංසක තරුණයකුගේ දෙකට කැඩීගිය මළ සිරුර අසල සිට සෙල්ෆි ගැසීමට තරම් අපේ සමාජය අකාරුණික වීම ගැන රටේ පුරවැසියන් ලෙස අපි කනගාටුවට පත් විය යුතු නොවේද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon