නිවුන් දරුවන් සිවු දෙනෙක්! ඒත් ආර්ථිකයට මහ බරක්

  👤  2827 readers have read this article !
By mawbima 2018-10-11

බෙන්තොට - ඇම්. මීගහපළ

ගහකට වැලකට පල දරන ගෙඩි ඒ ගහට හෝ වැලට බරක් නොවේ. එසේම ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, පිරිපුන් මවුපියන්ටද තමන්ට ලැබෙන දූ දරුවන් කිසිදු බරක් නොවේ. සතාසීපාවට වුවද මේ සෙනෙහසේ ධර්මතාව පොදුය. එහෙත් වත්මන් ආර්ථික උද්ධමනය නිසා වර්තමානයේ ජීවත්වීම සඳහා මිනිසුන් වන කාහට වුවද ගෙන යෑමට සිදු වී ඇත්තේ දැඩි සටනකි. වර්තමානයේ කෑමබීම, ගමන් බිමන්, ඇඳුම් පැලඳුම්, බේත් හේත්, අධ්‍යාපනය, නිවාස ආදී වූ මූලික කටයුතු සඳහා පමණක් යන වියදම සාමාන්‍ය පුද්ගලයකුට වුවද දරා ගත නොහැකිය. එවැනි පසුබිමක දිවි ගෙවන අතරේ පවුලකට එක්වරම සිවු නිවුන් දරු උපතක මිහිර විඳ ගන්නට ලැබුණහොත් එය මානසික පැත්තෙන් සතුට ගෙන දෙන්නක් වුවද ආර්ථික පැත්තෙන් අසීරුවට පත්වන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මහ ඉඳුරුවේ, නෙලුම්පොකුණ ගම්මානයේ පදිංචි එච්.කේ.එච්.පී. දුල්මිණි (30) මහත්මියටද එවැනි අත්දැකීමක් ලැබුණේ 2013 සැප්තැම්බර් මස 28 වැනිදාය. ඒ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී එක්වරම දරුවන් සිවු දෙනකුට මවු සෙනෙහස පුද කිරීමෙන් අනතුරුවය. මේ සුරතල් නිවුන් දරුවන්ගෙන් තිදෙනෙක්ම දියණියන් වූ අතර අනෙක් දරුවා පුතෙක් විය. හිමායා නෙතුමි, හිමාෂී මින්දාරා, හිමාෂා නෙතුකි නම් වූ එම දියණියන් තිදෙනා හා හිමාෂ් දිනරු නම් පුතුන්ගේ සුරතල් දකින විට මේ මවුපියන්ගේ සියලු ප්‍රශ්න අමතක වී සිතට දැනෙන සතුට කියා නිම කළ නොහැකි වුවද ආර්ථික පැත්තෙන් දැනෙන බර නම් මොන තරම් දැයි කාහට වුවද සිතා ගත හැකිය.

දරුවන්ගේ මවු වන දුල්මිණි මහත්මිය මුල් වකවානුවේ පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කළත් මේ දරුවන් ලැබීමෙන් පසු එයට සමු දෙන්නට සිදු වුණේ මේ සුරතලුන් හතර දෙනාගේ කටයුතු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අවබෝධ වූ නිසාය. පවුලේ ගෘහ මූලිකයා වූ බී.ආර්. සංජීව චාමර (35) මහතාගේ ආදායමින් පමණක් මේ පවුල නඩත්තු කිරීම අපහසු වූයේ පවුලට එක්වරම වැඩිපුර කටවල් හතරක් එකතු වූ නිසාය.

දරුවන්ගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ අතර ඔහුද දරුවන්ගේ කටයුතු කිරීමට සහාය වීම උදෙසා එම රැකියාවටත් සමු දුන්නේ බිරියට පමණක් පවුලේ බර දරා ගැනීමට නොදී සැප දුක සියල්ල සම සමව බෙදා හදා ගැනීම පියකුගේ යුතුකම බව ලොවටම පෙන්වා දෙමිනි. දැනට මේ පවුලේ එකම ආදායම සංජීව මහතා සිය නිවෙස අසල කුඩා කුලී කඩ කාමරයක ස්වයං රැකියාවක් ලෙස කරගෙන යන ඇඳුම් මැසීමෙන් ලැබෙන සුළු ආදායම පමණකි. ඔහු එසේ කළේද තම හැකියාවන් මතින් ආදායමක් ලබන අතරේ දරුවන්ගේ කටයුතුද කිරීමට හැකිවන පරිද්දෙනි.

සිවු නිවුන් දරුවන්ට අමතරව මේ යුවළට වයස අවුරුදු හතක තවත් දියණියකද සිටී. ඒ නිසා හත් දෙනකුගෙන් යුත් මේ දරු පවුලේ නඩත්තුව කර ගෙන යන්නේ ඉමහත් අපහසුවෙන් බව දුල්මිණි මහත්මිය පැවැසුවාය. දැනට පස් වසරක් සම්පූර්ණ කර ඇති මෙම දරුවන් සිවු දෙනා ලබන ජනවාරි මාසයේදී අධ්‍යාපන කටයුතු සඳහා පළමු ශේ්‍රණියට ඇතුළත් කිරීමද කළ යුතුව ඇත. නිවුන් දරුවන් සිවු දෙනාගේ ආහාර පාන, ඇඳුම පැලඳුම්, බේත් හේත් සඳහාත් තමන්ට විශාල මුදලක් වැය වන බව මේ දරුවන්ගේ මවුපියෝ පවසති.

තවමත් තමන්ට කියා ස්ථීර නිවහනක් ද නැති මේ දරු පවුල වාසය කරන්නේද දුල්මිණි මහත්මියගේ මහ ගෙදරමය. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ ඉඳුරුවේ, නෙලුම්පොකුණගම, නිවුන් දරුවන් සිවුදෙනෙක් සහ වැඩිමහල් දියණියද සමඟින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ මේ පවුලේ ජීවන ගමන ගෙන ගොස් ඇත්තේ විවිධ උදවු උපකාර කළ අයගේ සහයෝගයද යම් තරමකට ලැබුණු නිසා යැයි ඔවුන් පවසන්නේ කෘතඥතා පූර්වකය.

මේ තත්ත්වයන් යටතේ ඉදිරියේදී තම දරුවන්ගේ අනාගත කටයුතු සඳහා පරිත්‍යාශීලී කවුරුන් හෝ උදවු උපකාර කරන්නේ නම් එය කියා නිම කළ නොහැකි පුණ්‍ය කර්මයකැයි පවසන මේ මවුපියෝ වැඩිදුරටත් පැවැසුවේ මේ දක්වා උදවු උපකාර කළ සියලු දෙනාටත් හෘදයාංගමව තුති පුද කරන බවයි.

ඒ පවුලට කුමන ආකාරයකින් හෝ උපකාර කිරීමට කැමැත්තක් දක්වන සහෘදයනට දුම්රිය මාර්ගය අයිනේ ඔවුන්ගේ නිවෙස පිහිටි එන්/13, නෙලුම්පොකුණගම, මහ ඉඳුරුව යන ලිපිනයට සම්බන්ධ විය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon