විදේශයක සිට ආ රෝගී කතක් වසරක් තිස්සේ දංකොටුව රෝහලේ

  👤  2975 readers have read this article !
By mawbima 2018-10-11

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

විදේශයක සේවයේ යෙදී සිටියදී රෝගාතුරව පැමිණි කාන්තාවක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දංකොටුව දිසා රෝහල වෙත මාරුකර එවා වසරක පමණ කාලයක් ගතවී ඇතත් ඇයව භාර ගැනීමටකිසිදු ඥාතියකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉනෝකා දමයන්ති නමැති 44 හැවිරිදි මෙම කාන්තාවගේ රෝගී තත්ත්වය වරින් වර වර්ධනය වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට කටයුතු කර ඇතත් 2018 ජූලි 10 දින සිට ඇයට ලබාදෙන ප්‍රතිකාර ඉදිරියට අවශ්‍ය නොවන බවට උපදෙස් එම රෝහලෙන් ලබාදුන් බවත් දංකොටුව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ කාන්තාව සම්බන්ධයෙන් දංකොටුව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි තිලක්

එස්. රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

මේ කාන්තාව ඇගේ ඥාතීන් වෙත භාරදීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස දංකොටුව හා වෙන්නප්පුව යන පොලිස් ස්ථාන දෙකට මීට මාස දෙකකට පෙර දැන්වූවා. ඊට ප්‍රතිචාරයක් මේ දක්වා නොලැබීම හේතුවෙන් ගැටලු මතුවෙලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනී එච්.ආර්.සී. සුලක්ෂණි මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවැසුවාය.

මෙම කාන්තාව සම්බන්ධයෙන් දංකොටුව දිසා රෝහලෙන් අවස්ථා කිහිපයකදීම අපව දැනුවත් කළා. නමුත් වයසින් අඩු කාන්තාවක් නිසා ඇයව වැඩිහිටි නිවාසයකට යොමු කිරීමට අපට හැකියාවක් නෑ. විදේශගතව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඇයට හිමි රක්ෂණ වන්දි මුදලක් ලබාගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon