ත්‍රි’මලේ තෙල් ටැංකි විකිණීමෙන් ඩොලර් උල්පතක් රටට අහිමි වෙනවා

  👤  2758 readers have read this article !
By mawbima 2018-10-11

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජාතික මධ්‍යස්ථානයක් ගොඩනඟන බව ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසයි.
මන්ත්‍රිවරයා පැවැසුවේ ත්‍රිකුණාමලය හා හම්බන්තොට තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන්නේ නම් රටේ ණය හා ඩොලර් අර්බුදයට විසඳුමක් සොයාගැනීම පහසු බවය.

ජාතික ඇඳුම අඳින ඇමැති අර්ජුන රණතුංග රට පාවා දෙමින් තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා පසුගිය ජූලි මස ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙන් පෙන්නුම් කරන්නේ 1987 රට පාවා දුන් ඉන්දු - ලංකා ගිවිසුමේ ක්‍රියාවලියම බවට ඒ මහතා චෝදනා කළේය. ඒ අනුව තෙල් ටැංකි පැවරීම ඇතුළු සමස්ත ඛනිජ තෙල් සංස්ථාවටම සිදුකර ඇති අක්‍රමිකතාවලට එරෙහිව 23දා ප්‍රබල හඬක් නඟන බවද ඔහු වැඩිදුරටත් කීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය
නව පරිච්ඡේදයට අනුව 2003 පෙබරවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ එවකට ආණ්ඩුවේ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ඉන්දියාවට පවරලා දුන්නා. නීති විරෝධී ගිවිසුමක් අස්සන් කරලා මේ මොහොතේ තෙල් ටැංකි 99 ඉන්දියාවට ලබා දුන්නේ අවුරුද්දක් සඳහා එක් ටැංකියකට ඩොලර් 1,000ක් අයකර ගැනීම යටතේයි. ඊට අමතරව සේවා ගාස්තු ලෙස තවත් ඩොලර් 1,000ක් අයකර ගැනීමට නියමිතව තිබුණා. මේ සියලු පහසුකම් සහිත මෙම තෙල් ටැංකි සංකීර්ණය අයි.ඕ.සී. සමාගමට විකුණා දැම්මා.

මාස 06ක් ඇතුළත බදු ගිවිසුම අස්සන් කළ යුතුව තිබුණත් අද වනතුරු එම ගිවිසුම අස්සන් කොට නැහැ. මේ වනවිට එම තෙල් ටැංකි 99න් ඉන්දියාව භාවිත කරන්නේ තෙල් ටැංකි 14ක් පමණයි. කිසිදු නීත්‍යනුකූල ගිවිසුමක් නැතිව ඔවුන් තෙල් ටැංකි පාවිච්චි කරනවා. එක් අවස්ථාවකදී ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් මෙම තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට ගිය මොහොතක ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. බදු ගිවිසුමක්වත් නැතිව ඉන්දියාව විශාල ආදායමක් මෙම තෙල් ටැංකිවලින් ගන්නවා. වසරකට මෙම තෙල් ටැංකියක් සඳහා ඩොලර් 1,000ක් අය කළත් එක් ටැංකියකින් ලබන ආදායම වරුවකට ඩොලර් 1,000කටත් වඩා වැඩියි.

ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබාදීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. එය ඉන්දියාවේ ඉල්ලීමක් නොවෙයි. ඉන්දියාවට අවශ්‍ය වන්නේ එම තෙල් ටැංකි වෙනත් රටකට ලබා නොදෙනවා කියන තහවුරුවයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය මත මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්න යනවා.

ලංකාවට ආරක්ෂිත තෙල් තොග තබාගැනීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අද තෙල් ගබඩා කරන මුතුරාජවෙල, කොළොන්නාව, සපුගස්කන්ද කියන ගබඩාවල තෙල් තොග තබාගත හැක්කේ සති දෙකකට පමණයි. අපිට තිබුණු හම්බන්තොට තෙල් ටැංකි මේ වනවිට චීනයට දීලා ඉවරයි. එම නිසා තෙල් හිඟයකින් ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි. අඩුම තරමේ මසකට හෝ තෙල් තොග තබා ගැනීමට ගබඩා අවශ්‍යයි. එවැනි ආරක්ෂිත තෙල් තොග තබාගැනීමට ඉතාම සුදුසු ත්‍රිකුණාමලය තෙල් ටැංකියි. රටට එවැනි ජාතික අවශ්‍යතාවක් තිබියදී ආණ්ඩුව එම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්නේ ඇයි?

2016 කෝප් කමිටුවේදී නිර්දේශයක් ලබා දුන්නා, ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පරීක්ෂණයක් කරන්නකියලා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ජාත්‍යන්තර පළපුරුද්ද සහිත ඉන්ජිනේරුවන් පිරිසක් සතියකට ආසන්න කාලයක් ප්‍රායෝගික පරීක්ෂණයක් කළා.

පසුව එම ඉන්ජිනේරු කණ්ඩායම ඩොලර් මිලියන 10ක වියදමකින් තෙල් ටැංකි 16ත් නළ පද්ධතියත් තෙල් බාන ජැටිත් ප්‍රතිසංස්කරණය කළ හැකි බවට වාර්තාවක් ලබා දුන්නා. එවකට වරාය හා ඛනිජ තෙල් ඇමැතිවරයා චන්දිම වීරක්කොඩි 2016 අප්‍රේල් 28 වැනිදා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කොට තෙල් ටැංකි 16 සංස්ථාවට ලබාදෙන ලෙසත් එම වියදම සංස්ථාවෙන් දරන බවටත් යෝජනා කළා.

උතුරුමැදට තෙල් බෙදා දීමේදී කොළඹ හරහා සිදුකරන තෙල් ප්‍රවාහනයේදී ප්‍රවාහන ගාස්තු ලෙස රු. මිලියන 1500ක් වැයවන අතර එය තෙල් ටැංකි අලුත්වැඩියාවට යන වියදමට සමාන වියදමක්. ඒ අනුව කැබිනට් සන්දේශය අනුමත වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ 2016 ජුනි 05 වැනිදා නැවත කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරනවා එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට. ඒ විතරක් නෙවෙයි ඉන්ජිනේරුවන් කණ්ඩායම රට වෙනුවෙන් හදපු වාර්තාවත් රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාට ලබා දෙනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99ම වසර 50 සිට 99 දක්වා බදු දෙන්න තීරණය කොට තිබෙනවා. බදු ගිවිසුමක් නැතිව තෙල් ටැංකි 14ක් පාවිච්චි කරන අයි.ඕ.සී. සමාගම නැව්වලට පවා තෙල් අලෙවි කරනවා. එමගින් ඉන්දියානු සමාගම අතිවිශාල ලාභයක් ලබනවා. ඊට අමතරව නැව්වලට තෙල් සපයනවා. එමඟින් විශාල ඩොලර් ආදායමක් ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් ගබඩාවෙන් අත්හදාබැලීමක් ලෙස තෙල් ටොන් 3,000ක් අලෙවි කරලා රු. මිලියන 1,000කට වැඩි ආදායමක් ලබා තිබෙනවා. හම්බන්තොට තෙල් ටැංකිවලින් (චීනයට විකිණීමට පෙර) 2014 ජනවාරි සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා තෙල් ටොන් 69,000ක් අලෙවි කරලා රු. බිලියන 04ක විදේශීය විනිමයක් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට අතිවිශාල ඩොලර් අදායමක් ලබාගන්න පුළුවන් ඩොලර් උල්පතක් විකුණා දැමීමටයි ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය.

ආර්ථික අර්බුදය විසඳන්න බලය දෙන්න කියලා රාජපක්ෂ කණ්ඩායම ඉල්ලීමක් කරනවා.

මහින්ද රාජපක්ෂලාට රට හදන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ බව ඔහු මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වීමෙන්ම පැහැදිලියි. රුපියල අවප්‍රමාණ වීම මහින්ද රාජපක්ෂලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩු පසුගිය වසර 40ක කාලය තුළ අනුගමනය කළ ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක්. මෙම ආර්ථික කඩාවැටීමට හේතුව මහින්දලාගේ රනිල්ලාගේ ආර්ථික ප්‍රතිපත්තිවල අසාර්ථකභාවයයි.

මෛත්‍රි - මහින්ද විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා?

දැනට අපිට තිබෙන විශ්වාසවන්ත තොරතුරු අනුව මෛත්‍රි - මහින්ද - බැසිල් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රි ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ලා යනවා.

ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. මහින්දට අගමැති තනතුර ලබාදීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ඡන්දය දුන් ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඡන්ද දායකයන් හෝ සහායක් ලබානොදෙන බව අපිට විශ්වාසයි.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon