හොඳින් පන්දු රැක්කොත් දිනන්න පුළුවන් _ චන්දිමාල් අයි.පී.එල්. නිසා මාලිංගත් අපට හොඳට හුරුයි - බට්ලර්

  👤  2610 readers have read this article !
By mawbima 2018-10-10

සිරිනාම රාජපක්‍ෂ,

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද (10දා) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇතත් පවතින වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් අද දිවා/රාත්‍රි තරගයටද බාධා පැමිණිය හැකි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද කියා සිටියේ තරගයට යොදාගන්නා අවසන් එකොළොස් දෙනා කලින්ම ප්‍රකාශයට පත්කිරීමටද කාලගුණය බාධාවක් වී ඇති බවයි.

පළමු එක් දින තරගයට පෙර ඊයේ (9දා) දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එසේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා එක්දින නායකයා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි ගමන්මඟේ හැරවුම් ලක්‍ෂ්‍යය වනු ඇති බවයි.

තවද අවසන් වසර දෙකක පමණ කාලය තුළ එක්දින තරගවලදී නියමිත පන්දුවාර ප්‍රමාණය නිසි කාලය තුළදී නොයැවීම හේතු කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දඬුවම් විඳීමට සිදුවීම සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් චන්දිමාල් කියා සිටියේ එම වරද සිදුනොවීමට මෙම තරගාවලියේදී තම කණ්ඩායම දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් හදිසියේම යළිත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තමන්ට පැවැරීම සම්බන්ධයෙන් විශේෂත්වයක් නොදැනෙන බවද කී ශ්‍රී ලංකා නායකයා ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් " අපි කවුරුත් දන්නවා අන්ජිලෝ මැතිව්ස් කියන්නෙ එක්දින සහ විස්සයි-20 තරග සඳහා කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙක්. නමුත් ප්‍රධාන වශයෙන්ම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් නිසයි ඔහුට මේ අවස්ථාව අහිමි වුණේ කියල මම හිතන්නෙ. දැන් එංගලන්ත කණ්ඩායම කියන්නෙ එක් දින අංක-1 කණ්ඩායම බව ඇත්ත.

ඕනෑම තත්ත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට හැකි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඔවුන් සතුව ඉන්නවා. එහෙත් අපේ දඟපන්දු යවන්නන් ඔවුන්ට ලොකු අභියෝගයක් වේවි. ඒ වගේම ඔවුන්ගෙ කණ්ඩායමේ අදිල් රෂීඩ් සහ මොයින් අලි යන දඟපන්දු යවන්නන් දෙදෙනාත් අපිට කරදරයක් වේවි" යනුවෙන් පැවැසීය

මේ අතර අද ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කවුදැයි යන පැනයටද පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් "අපි සතුව දක්‍ෂ ආරම්භක පිතිකරුවන් 4 දෙනෙක් ඉන්නවා. ඉන් හොඳම ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද යොදාගන්නවා. ඕනෑම කණ්ඩායමක පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ දක්‍ෂතාවන් තම තමන්ට පාලනය කරගැනීම අපහසු වෙන්න පුළුවන්.

නමුත් තරගයකදී පන්දු රැකීම පාලනය කරගන්න තමන්ට හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ බැලුවොත් අපේ කණ්ඩායමේ දුර්වලම අංශය පන්දු රැකීමයි. එනිසා එම දුර්වලතාව මඟහරවා ගන්න මෙම තරගාවලියේදී පන්දු රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරලයි තිබෙන්නෙ. මමත් මුලදී ප්‍රවේගකාරී පිතිකරුවෙක්.

නමුත් පසුව වගකීම් පැවැරෙන විට ඒ තත්ත්වය වෙනස් වෙන්න ඇති. නමුත් දැන් පුහුණුකරු සමඟ කතාකර ගත් පරිදි නැවතත් වේගවත් පිතිකරණයක යෙදිල වඩාත් සාර්ථක පිතිකරුවෙක් වෙන්න උත්සාහ කරනවා" යැයිද පැවැසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 70 වැනි එක්දින තරගය ලෙස අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පිළිබඳව මෙන්ම පිතිකරණ ලැයිස්තුව ගැනද ස්ථිර අදහසක් ප්‍රකාශ නොකළ අතර බොහෝ විට අද තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇතැයි පැවැසේ.

දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් අනෙක් ක්‍රීඩකයන් වන්නේ, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, ලක්‍ෂාන් සඳකැන්, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග.

ඊයේ පැවැති මාධ්‍ය හමුව සඳහා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සහභාගි වූ අතර ඔහු කියා සිටියේ දෙවැනි පුහුණු තරගයට වැස්සෙන් බාධා පැමිණියද ඉන් පෙර පැවැති පුහුණු සැසියන් සාර්ථකව කළ බැවින් අද තරගයට ඇති සූදානම යහපත් එකක් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමේදී තම කණ්ඩායම ලොව එක්දින තරග පළමුවැනියා යැයි පීඩනයක් ඇති කරගෙන නැතැයි පැවැසූ බට්ලර් ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් " ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට අපි සූදානම්. වේගපන්දු යවන මාලිංග ගැන කතා කළත් අපිත් ඔහුත් අයි.පී.එල්. තරගාවලියේදී එකට ක්‍රීඩා කරල තියෙනවා.

ඒ නිසා ඔහු මටත් හොඳට හුරුයි. මා හිතන්නේ අපේ අනෙක් පිතිකරුවන්ටත් ඔහු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අයි.පී.එල්. වලදී වගේම අපි පසුගිය කාලයේ මේ කලාපයේ දඟපන්දු යවන්නන්ට සෑහෙන තරගවලදී මුහුණ දුන්න නිසා මෙම තරගාවලියේදිත් දඟපන්දු යවන්නන් ලොකු අභියෝගයක් වෙන්නෙ නැහැ" යනුවෙන් කීය.


ඡායාරූප _ නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon