ඒකාබද්ධ විපක්ෂයේ ගොබෙල්ස්ලා ජනතාව රවටනවා

  👤  2666 readers have read this article !
By mawbima 2018-10-10

රුපියල කඩා වැටීම නිසා සමස්ත ආර්ථිකය කඩා වැටෙනවා කියන කතාව ආර්ථික විද්‍යාවට අනුව පිළිගන්න බැහැ" යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කෙළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (9දා) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී මංගල සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.


රුපියල අවප්‍රමාණ වීමත් සමඟ රටේ සමස්ත ආර්ථිකය කඩා වැටෙන බවට ඒකාබද්ධ විපක්ෂය ගොබෙල්ස් න්‍යාය අනුව බොරු කතාවක් පතුරුවනවා.

ඔවුන් එසේ කියන්නේ ඔවුන්ගේ පාලන කාලයේ ආර්ථිකය කඩා වැටුණු ආකාරය අමතක කරමිනුයි. 2015 ජනවාරි 8 අපට භාර ගන්න වුණේ ආර්ථික කාල බෝම්බයක්.

පසුගිය පාලන කාලයේ රාජ්‍ය ආදායම පහළ වැටුණා. 1990 වන විට 21%ක් වූ රාජ්‍ය ආදායම 2014 වන විට 11.4%ක් දක්වා අඩු වී තිබුණා. රාජ්‍ය ආදායම අඩුවීමේ ප්‍රතිශතය 2006දී පැවැති 25.8% ප්‍රමාණය 2014 දී 5.1% දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය වියදම සමස්ත ආදායමට වඩා ඉහළ අගයක් ගත්තා. රාජ්‍ය ආදායම එකල වැය කළේ ණය ආපසු ගෙවීමටයි. 2013 රාජ්‍ය ආදායම මිලියන 1,132යි. වියදම 1,144යි.

එවැනි ආර්ථික කාලබෝම්බයක් තමයි අපට හමු වුණේ. රාජපක්ෂ පාලන කාලයේදී රාජ්‍ය ණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ නිසා තමයි මේ වසරේ රාජ්‍ය ණය විදියට රුපියල් බිලියන 1,900ක් ගෙවීමට සිදු වී තිබෙන්නේ. 2020 දී ඩොලර් බිලියන 2ක් ගෙවන්න සිදු වෙනවා. මේවා ගෙවන්න ණය ගන්න සිදු වෙනවා. මේ වසරේ තිබෙන ණයවලින් 83%ක්ම රාජපක්ෂ ණයයි.

රටේ ආර්ථික වර්ධනය 3.1% දක්වා අඩු වී ඇති බව අපි පිළිගන්නවා. ඒත් මේ වසරේ පළමු කාර්තුවේ එය 3.7%ක් වර්ධනය වෙලා. මේ වසර තුළ 4% වර්ධන වේගයක් අපේක්ෂා කරනවා.

අපි ආණ්ඩුව භාර ගන්න විට වෛද්‍යවරුන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් ආදී සියලු දෙනා ගෙව්වේ 18%ක ආදායම් පමණයි. වක්‍ර බදුවලින් තමයි 82%ක් ආදායම ලැබෙන්නෙ. ඒත් අපි බදු ෆයිල් ලක්ෂය දක්වා වැඩි කළා. සාමාන්‍ය ජනතාවට බදු සහන දුන්නා. මේ රටේ ඉතිහාසයේ වැඩිම අපනයනය වාර්තා වන්නේ 2017දීයි. පළමු මාස 4 තුළ ඩොලර් මිලියන 1.35ක ආදායමක් ලැබී තිබෙනවා.

රුපියල 10%කින් අව ප්‍රමාණ වුවත් ඒක අපට සීමා වුණු අර්බුදයක් නෙවෙයි. ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, රුසියාව, මැලේසියාව ආදී රටවලටත් මේ තත්ත්වය බලපා තිබෙනවා. රුපියල රැකගන්න අපි වියදම් කරල තියෙන්නෙ ඩොලර් මිලියන 250ක් පමණයි.

2025 ආර්ථික දැක්ම අනුව අපනයන ආර්ථිකයක් ඇති කිරීම අපේ අපේක්ෂාවයි. රුපියල අවප්‍රමාණ වීමෙන් එජාපය ඇතුළු අපි ආර්ථිකය නිවැරැදි දිශාවකට ගෙන යන බව සනාථ වෙනවා. රුපියල අවප්‍රමාණ වුණා කියලා සංවර්ධන ක්‍රියාවලිය අඩපණ වෙලා නැහැ. නොවැම්බර් 30න් අවසන් වන ගම්පෙරළිය වැඩසටහනින් ගම් 33,875ක් සඳහා රුපියල් බිලියන 20ක් යොදවා තිබෙනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ඔක්තෝබර් 1 වන විට 26,978 දෙනකුට රුපියල් බිලියන 5.4ක් ණය ලබා දී තිබෙනවා.

මේ අතර 16 කල්ලිය දවල් හීන දකිනවා. දැන් අලුත්ම හීනය තමයි භාරකාර ආණ්ඩුව. මේවා කියන කොට පිටරට අය හිතන්නෙ ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා කියලයි. ඒවා ජෝකර්ලාගේ වැඩ කියල ඔවුන් දන්නෙ නැහැ.

දෙනගම ධම්මික රණවීර 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon