විකල්ප ආණ්ඩු කතාවෙන් මැති සබය උණුසුම්

  👤  2765 readers have read this article !
By mawbima 2018-10-10

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහ වෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු ගැන කතාබහයි.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ස්ථාන කිහිපයකම විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද ජනතා නියෝජිතයන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු සම්බන්ධයෙන් සිදුවන කතාබහ පිළිබඳවයි.

මේ ගැන ඊයේ (09දා) දින කතාබහ කෙරුණු අවස්ථාවේදී මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පාර්ලිමේන්තුව ඊයේ (09දා) දින රැස් වූයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙනි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න මතුකරන අවස්ථාවේදී සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු ගැන කතාබහ කරළියට ගෙනාවේ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරයෙකි.
එය මතු කළේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්ය.

මීතොටමුල්ලට අමතරව තවත් කසළ කඳු තිබෙනවාද යන්න මරික්කාර් ප්‍රශ්නය යොමුකර තිබුණේ පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙතය. ඊට අමාත්‍යවරයා වෙනුවෙන් කල් ඉල්ලා තිබූ නිසා මරික්කාර් වෙනත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ සභානායක වෙත යොමු කිරීමට සූදානම් විය.

ඊට මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගෙන් අවසරයක් ලැබුණේ නැත.

නමුත් තමාට ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය බව දැඩි ලෙස ප්‍රකාශ කළ මරික්කාර් කෙසේ හෝ තම ප්‍රශ්නය සභාවට ඉදිරිපත් කළේය.

"මේ වෙලාවේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ නැහැ. රජය මාරු කරනවා, සභාග ආණ්ඩුවක් පිහිටුවනවා, විකල්ප ආණ්ඩුවක් පිහිටුවනවා කියලා, කණ්ඩායම් 2ක් එකතු වෙන්න යනවා කියලා ප්‍රචාරයක් යනවා. මෙහි සත්‍යතාව කුමක්ද කියලා පාර්ලිමේන්තුවේ සභානායකතුමාගෙන් මං අහන්න කැමැතියි" යනුවෙන් එස්.එම්. මරික්කාර් ඉතා උස් හ¾ඩින් විමසා සිටියේය.

ඊට පිළිතුර ලබාදීමට වහාම නැඟී සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලය.

"එහෙම ආණ්ඩුව මාරුවෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද මේ රටේ ජනවරම ලැබුණේ යහපාලන ආණ්ඩුවට. එක්සත් ජාතික පෙරමුණටයි ජනවරම ලැබුණේ. ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ. ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න ජනවරමකුත් නැහැ" යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

මරික්කාර් මෙම ප්‍රශ්නය අසනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම කෑකෝ ගැසීම් සිදුකළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් ප්‍රතිචාර දැක්වීම නිසා මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

"මෙන්න ආණ්ඩුව බය වෙලා. අලුත් ආණ්ඩුවක් එයි කියලා මරික්කාර් දැන්මම බයවෙලා. ඒ බයටයි මෙහෙම ප්‍රශ්න අහන්නේ" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කෑගසමින් ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 4 දීය.

පෙ.ව. 10.40ට පමණ සාකච්ඡාව ආරම්භ වූ අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෙ.ව. 11.40ට පමණ එම සාකච්ඡාව අවසන් විය.

පාර්ලිමේන්තුව සතියේ වැඩසටහන ගැන මුලින්ම සාකච්ඡා කළ අතර මියගිය කොටි සාමාජිකයන්ට පිළිගැනීමක් ලබාදීම සඳහා ගෙන එන හානිපූරණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට විරුද්ධ විය යුතු බව මෙහිදී තීරණය කෙරිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමේදී එක් මතයක සිටිය යුතු බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කමිටු ශාලා කාමරයෙන් පිටතට පැමිණියේය.

ඔහු සමඟ සී.බී. රත්නායක මන්ත්‍රිවරයා කතා කරමින් යන විට ඉදිරියට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායකය.

"පේනවාද මෙයාලා රැස්වීමට එන වෙලාව" මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිනහසෙමින් විමසුවේය.

"සර්... වැස්ස නිසා ටිකක් පරක්කු වුණා" යනුවෙන් විමලවීර දිසානායක ප්‍රතිචාර දැක්වූයේය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේදී එම ආණ්ඩුවේ ප්‍රබලයකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර බැසිල් රාජපක්ෂට සහතිකයක් ලබාදීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූ විශේෂ සිදුවීමකි.

"බැසිල් රාජපක්ෂ දක්ෂ දේශපාලනඥයෙක්. මොන පැත්තේ හිටියත් ඔහු දක්ෂයෙක්. ඔහුට තේරෙනවා යථාර්ථය. ආණ්ඩුවකට තෙල් මිල පාලනය කිරීමට නොහැකියි යනුවෙන් බැසිල් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා" යනුවෙන් ප්‍රකාශ කළ මංගල සමරවීර එම ප්‍රකාශය මැතිසබයට උපුටා දැක්වීය.

මේ අතර ඊයේ මැතිසබය තුළදී ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූහ.

එම වචන හුවමාරුව සිදුවූයේ චන්දිම වීරක්කොඩි සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතරය.

"අද මම පාර්ලිමේන්තුවට එන්න හදනකොට පොලිසියෙන් එන්න දුන්නේ නැහැ. ඒක නිසා එතැන විරෝධතා දියත් කරමින් හිටපු රජයේ විශ්‍රාමිකයන්ගේ විරෝධතාව සමඟ එක්වන්න මට සිදුවුණා. රජයේ විශ්‍රාමිකයන් අද අසරණ වෙලා. ඔවුන්ට ජීවත්වන්න අමාරුයි. ජීවන වියදම ඉහළ ගිහිල්ලා. මේ ආර්ථික අර්බුදය ඔවුන්ටත් බලපාලා. යනුවෙන් චන්දිම වීරක්කොඩි පැවැසුවේය.

චන්දිම වීරක්කොඩිගේ එම ප්‍රකාශයට බාධා කරමින් රීති ප්‍රශ්නයක් මතුකරන ලද්දේ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයායි.

"වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා දේශපාලනය කතා කරනවා. එහෙම කරන්න බැහැ." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසුවේ.
"මට කතාකරන්න ඉඩ දෙන්න. එතැන ඇති වූ සිද්ධියයි. මං කිව්වේ." චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේය.

"මෙතුමත් ආණ්ඩුවේ හිටියා. ඔයා එහෙනම් ආණ්ඩුවේ හිටියේ මොකද? ලැජ්ජා නැතිව හිටියා. ඔබතුමාට ලැජ්ජා නැද්ද? අවුරුදු 3ක් මේ ආණ්ඩුවේ ඉඳලා ලැජ්ජා නැතිව දැන් එහා පැත්තට ගිහිල්ලා විරුද්ධව කතා කරනවා. ගිය ආණ්ඩුවේ හිටියා. මේ ආණ්ඩුවේ හිටියා. දේශපාලන අවස්ථාවාදීන්" යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල තරමක් උස් හ¾ඩින් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට ඊයේ දින පැමිණීමට එන අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට යම් අකරතැබ්බයක් සිදුවිය.

පාර්ලිමේන්තුව දහවල් 1.00ට ආරම්භ වීමත් සමඟ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන වේලාවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රශ්න 3කට පිළිතුරු ලබාදීමට අකිල විරාජ් කාරියවසම් සූදානමින් සිටියේය. නමුත් දහවල් 12.00 සිට රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිව විශාල වේලාවක් සිටි අකිල වාහන තදබදයට විකල්පයක් ගැන කල්පනා කළේය.

අවසානයේදී පාරේ ගමන් කළ යතුරුපැදියක නැඟී පැමිණි නිසා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා නියම වේලාවට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට අකිල විරාජ් කාරියවසම්ට හැකිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන්නේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නය.

රජයේ රූපවාහිනි නාළිකාවක "ස්වේත ගංතීර" නමැති ටෙලි නාට්‍යයේ ජවනිකාවක නිළියක දුම්පානය කරන අයුරු ඉතා පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කළ බවත් එවැනි දර්ශන ප්‍රචාරය කිරීම තහනම්ව තිබියදී රජයේ රූපවාහිනි ආයතනයක මෙය ප්‍රචාරය වූයේ කෙසේද කියා විමලවීර දිසානායක ප්‍රශ්න කළේය.

එවැනි දර්ශනයක් ප්‍රචාරය වූ බව පිළිගන්නා බවත් නැවැත එවැනි අවස්ථා ප්‍රචාරය නොවීමට වගබලාගන්නා බවත් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

"මේ දර්ශනයේ පෙනී සිටියේ සමනලියක්. දේදුන්න මැදින් පියාඹාගෙන එන සමනලියක්. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි මෙම සමනලිය තමයි කංසා උරන දර්ශනයේ පෙනී සිටියේ. ඒක යහපාලනයද?" යනුවෙන් පැවැසූ විමලවීර දිසානායක එම දර්ශනයේ පෙනී සිටි නිළිය පිළිබඳ යම් ඉඟියක් ලබාදීමටද අමතක නොකළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon