පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි කිසිවකු අසමත් නෑ

  👤  2854 readers have read this article !
By mawbima 2018-10-10

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉකුත් සිකුරාදා නිකුත් විය. ශිෂ්‍යත්වයට මුහුණ දුන් දූ පුතුන්ටත් ඊට කැපකිරීම් කළ මවුපියන්ටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත් දැන් අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා කිහිපයක් පිළිබඳ ලියැවුණු ලිපියකි.

පහේ හපනුන්ගේ හපන්කම්වල තරම හෙළිදරව් වන බව දැන් රටම දන්නා කරුණකි. ඔවුන්ගේ හපන්කම් මැනීම සඳහා අපේ රටේ භාවිත කරන එකම ක්‍රමය සාධන පරීක්‍ෂණයක් පැවැත්වීමයි. එය ශිෂ්‍යත්ව විභාගය ලෙස නම් කර ඇත්තේය. නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ග්‍රාමීය අධ්‍යාපනය නඟා සිටුවීමට ගත් පියවරවල එක් අදියරක් ලෙස ශිෂ්‍යාධාර ලබා දීමට වැඩපිළිවෙළක් යෝජනා කළේය.

එකල අපේ රටේ ග්‍රාමීය අධ්‍යාපනය පැවැතියේ ඉතාම පහළ මට්ටමකය. ශිෂ්‍යත්ව විභාගයත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇරැඹි මධ්‍ය විද්‍යාලත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ ග්‍රාමීය දරුවන්ට ක්‍ෂේම භූමියක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අද වන විට ශිෂ්‍යත්ව විභාගය, කන්නන්ගර දර්ශනය විකෘති කරමින් ටියුෂන් මාෆියාවටත් ඒ හා බැඳුණු ව්‍යාපාර මාෆියාවටත් ඇතැම් ජනප්‍රිය පාසල් යැයි කියා ගන්නා සිසු සිසුවියන් 3000 සිට 6000 දක්වා අධ්‍යාපනය ලබන කර්මාන්තශාලා වැනි පාසල්වල මාෆියාවටත් නතුව තිබෙන බව පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය නිසාම වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු දූ දරුවෝ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති. ලොව පුරා දාර්ශනිකයන්, මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපනඥයන් මෙම අවධියේ පසුවන දරුවන්ගේ ස්වභාවය පිළිබඳ ඕනෑ තරම් විද්‍යාත්මක හා දාර්ශනික අදහස් ඉදිරිපත් කර ඇතත්, අපේ රටේ අධ්‍යාපනඥයන්වත් දාර්ශනික මතධාරීන්වත් මේ ගැන වැඩි තැකීමක් සිදු නොකිරීම ජාතියේම අභාග්‍යයකි.

එක් උදාහරණයක් කිවහොත්, මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යනු නිර්මාණශීලී ගුරු පරපුරක් නිර්මාණය කරන, නිෂ්පාදනය කරන වැදගත්ම ආයතනයකි. එවැනි විද්‍යාපීඨයක පීඨාධිපතිවරියක් පවා මේ ශිෂ්‍යත්ව විභාගය ව්‍යාපාරයක් කරගත් හැටි අපට මතකය. තොග ගණන් පොත් හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පාදනයට ඇය නමක් දිනා ගත්තාය. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා වන විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ තනතුරේ සිටි අය පවා එවැනි ව්‍යාපාර සිදු කළ හැටි අපට මතකය. අධ්‍යාපනඥයන් ව්‍යාපාරිකයන් වූ කල දැයේ දරුවන්ට අත්වන ඉරණම බරපතළය.

මනෝ් විද්‍යාඥයන්ට අනුව සංයුක්ත ක්‍රියාකාරි චින්තන අවධියේ පසුවන (අවු7-11) දූ දරුවන්ගේ ක්‍රියාකාරිත්වය කෙබඳුද? ඉන්ද්‍රියයන්ට ගෝචර වන, සංයුක්තව ඉදිරිපත් වන ගැටලු තාර්කිකව විසඳීමට හැකියාව මොවුන්ට තිබේ. එහෙත් අද 3, 4, 5 ශේ‍ර්ණිවල දරුවන්ට මේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලබාදීම වෙනුවට සිදු වන්නේ ප්‍රශ්න පත්‍ර ලබාදී එම ප්‍රශ්නපත්‍රවලට ලියවමින් ගුරුවරුන්, ටියුෂන් කඩ හිමියන්, ව්‍යාපාරිකයන් ලබා දෙන උත්තර කටපාඩම් කරවීම හෝ නැවත නැවත ලියමින්, කියවමින් යාන්ත්‍රික ක්‍රමයකට හැඩ ගස්වන ස්වරූපයකි. පංචේන්ද්‍රියයන් ආශ්‍රයෙන් ඉගෙන ගැනීමේ ශක්‍යතාව ඉහළ මට්ටමක සිටින මෙම දරුවන්ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය වෙනුවට වෙනත් යාන්ත්‍රික ක්‍රමවේදයකට කවුරුන් හෝ කියූ ලියූ දෙයක් ප්‍රත්‍යක්ෂ කරවීමට තරම් අපේ අධ්‍යාපනඥයන් මාර්ග විවර කොට තිබේ.

එහි අනිටු විපාක අපි කොතෙකුත් අසා, අත්දැක ඇත්තෙමු. ශිෂ්‍යත්ව විභාගය ළංවත්ම දරුවන් මුහුණ දෙන මානසික පීඩනය, මවුපියන්ගෙන් එල්ල වන පීඩනය, ගුරුවරුන්ගෙන් එල්ල වන පීඩනය කෙසේ විස්තර කළ හැකිද? එක් උදාහරණයක් පවසමි. එක් ප්‍රධාන පාසලක 5 ශේ‍ර්ණියේ දියණියක ඉකුත් පෙබරවාරියේදී අප හමුවට ඇගේ මව සමඟ පැමිණියාය. ඇගේ මවද ගුරුවරියකි.

"අනේ සර් මගේ ළමයා හොඳටම බය වෙලා. සෙල්ලම් කරන්නේ නෑ. ගෙදර ඇවිල්ලා නංගිලා එක්ක සෙල්ලම් කරන්නේ නෑ. කතා කරන්නේ නෑ. ඉස්කෝලෙන් දුන්න වැඩ කර කර ඉන්න ගමන් ඔළුව ගහගන්නවා බිත්තියේ අම්මේ මට මේවා කරන්න බෑ!!! කිය කියා. අනේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න සර්."

එකල මා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ මනෝ උපදේශනය හා මාර්ගෝපදේශනය භාර ගුරු උපදේශකවරයා වශයෙන් සේවය කළෙමි. ඇති වී තිබෙන තත්ත්වය තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඇගේ පන්තියේ ගුරුවරිය සෑම සිසුවකුටම ඉලක්කයක් ලබාදී ඇත. මේ දියණියට ලබා දී තිබූ ඉලක්කය සෑම ප්‍රශ්න පත්‍රයකටම ලකුණු 92ක් ලබා ගැනීමයි. එය කෙතරම් අභියෝගයක්ද? මේ කුඩා දියණිය ලකුණු 80 ඉක්මවා ලකුණු ලබා ගත්තත් ගුරුවරියගේ ඉලක්කයට ළඟා නොවීම නිසා උරණ වන ගුරුවරිය සෑම දිනකම මේ දැරියට "ඔයාට බෑ.

මම බලන්නේ නෑ ඔයාගේ අභ්‍යාස. මම කියන ලකුණට ඔයාට තාම එන්න බැරි වුණා." ආදී වචන කියමින් අභ්‍යාස පොත් බැලීම පවා ප්‍රතික්‍ෂේප කරමින් සිටි අතරතුර මෙම මානසික අර්බුදයට දියණිය මුහුණ පා ඇත. පන්තියේ සිටින දක්ෂයන් අතර ඇයද දක්ෂයෙකි. එහෙත් ගුරුවරියගෙන් එල්ල වන පීඩනය පිට කර ගැනීමට දියණිය කළේ නිවෙසේදී ඉහතින් දැක්වූ චර්යාවන් ප්‍රදර්ශනය කිරීමයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවෙන් කී දෙනෙක් මෙවැනි පීඩනයන්ට ලක්වන්නට ඇද්ද? ඔවුන්ගේ මානසික පීඩනය අවම කිරීමට මේ රටේ ඇති ක්‍රමවේද මොනවාද? එම දැරියට ලබා දුන් ඉලක්කය ඇයට සුදුසුද? මේ කිසිවකුට වර්තමාන ශ්‍රී ලාංකික ජන සමාජයන් උත්තර නොලැබෙනු ඇත. එමෙන්ම ගුරුවරුන්ගෙන් එල්ල වන පීඩනයන් සමනය කිරීමට ක්‍රමයක් තිබේද?

විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන්, පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන්, රේඛීය අධ්‍යාපන බලධාරීන්ගෙන් එල්ල වන පීඩනය කොතෙක්ද එම සියලු දෙනා විභාග ප්‍රතිඵල මත අපේ දරුවන් වර්ගීකරණය කරති. විභාගයත් සාධනය මැන ගන්නා එකකි.

එයින් සිසු හැකියා දක්ෂතා සියල්ල මැනෙන්නේ නැත. මේ බොහෝ කාරණා ගැන සෑම වසරකදීම පාහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ පසු පුවත්පත්වල, රූපවාහිනි මාධ්‍ය තුළ විවිධ කතිකාවන් ඇති වෙයි. එය ඊළඟ වසරේ 5 ශේ‍ර්ණියේ දරුවන් විභාගයට මුහුණ දීමට සූදානම් වන තෙක්ම ඇදෙනු ඇත. ඉන් පසු ප්‍රතිඵල ලැබෙන විට කතිකාව මුල සිට නැවත වරක් සිදුවනු ඇත. වෙනස් වන්නේ නැත.

මීට පෙර නම් ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු දරුවන් විශාල වශයෙන් පරාජිතයන් කර හුවා දැක්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඒ දිස්ත්‍රික්කවලින් ශිෂ්‍යාධාර ලබා දීමට නියමිත සිසුන් සංඛ්‍යාව තෝරා ගෙන අනෙක් දරුවන් ව්ධබ ඳභචතඪටඪඥඤ සුදුස්සන් නොවේ, යනුවෙන් සටහන් ලේඛනයක් එවයි. ඇත්තටම ළමයින් නුසුදුස්සෝද? කිසියම් දිස්ත්‍රික්කයක සුදුස්සන් තේරීමේ ලකුණ 150ක් නම් 149 ගන්න සිසුවාගේ නුසුදුසුකම කුමක්ද? ඔහු හෝ ඇය එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 74ක් හා අනෙකට 75ක් ලබා ගෙන ඇත. අ.පො.ස. (සා.පෙළ., උ.පෙළ) නම් ඒ සාමාර්ථයකි.

විශිෂ්ට සාමාර්ථයකි. එවන් විශිෂ්ට සාමාර්ථයක් ගත් සිසුන් පරාජිතයන් කිරීම තුළින් අපේ රටේ ඊළඟ පරම්පරාවල් පරාජිත මානසිකත්වයෙන් යුතු වූවන් කිරීම මේ අධ්‍යාපනයෙන් සිදු කෙරෙන්නේ නම් එවැනි අධ්‍යාපනයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? වර්තමාන විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපි සිතමු. ඊළඟ වසරේදීවත් ව්ධබ ඳභචතඪටඪඥඤ වෙනුවට වෙනත් නමක් ලබාදී හෝ මේ තත්ත්වය අකා මකා දැමීමට ක්‍රියා කළ යුතුය. සැබැවින්ම ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා යොදා ගත් දිනය ඉතා අගය කළ යුතුය. පාසල් නිවාඩු කාලය පුරාම ඒ නිසා ළමයි විනෝද වූහ. ළමා ලෝකය විචිත්‍ර කරගැනීමට අවස්ථා උදා කරගත්හ. එය අගය කළ යුතුය.

දැන් ඉතින් විදුහල්පතිවරුන්, ගුරුවරුන් ටියුෂන් කඩහිමියන්, ඒ වෙනුවෙන් පෙළ ගැසුණු ව්‍යාපාරිකයන් ළමයින්ගේ මූණු පෙන්වමින් ඊළඟ කස්තිරම ඇල්ලීමට දැනටමත් දත කට මැද ගෙන සිටිති. දරුවන්ගේ ඡායාරූප රැගත් විශාල පුවරු පාසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කරනු ඇත. පත්තර රූපවාහිනි ඇතුළු මාධ්‍ය තුළ දැන්වීම් පළ කරනු ඇත. ව්‍යාපාරිකයන් මේ මූණු හොයාගෙන එනු ඇත. මෙයින් පීඩාවට පත්වෙන්නේත් එම දරුවන්මය. වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා පසුගිය වසරේ පාසල්වල මෙවැනි පුවරු දැමීම තහනම් කළත් එය නියාමනය නොවුණු නිසා එයද ප්‍රතිඵලදායි මෙහෙවරක් ඉටු නොකෙළේය.

එබැවින් පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරු දැන් ලැබෙන ප්‍රතිඵලය සතුටින් භාර ගැනීමටත් එහි වගකීම දැරීමටත් සූදානම් කළ යුතුය. දෙවනුව මවුපියන්ට පැහැදිලිව කිවයුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ.

දැන් ඔබේ දරුවා විශාල පරිශ්‍රමයක් දරා ප්‍රතිඵලයක් ලබාදී තිබේ. ඇතැම් සිසුන් රෑ 12 පමණ වන තෙක් රාත්‍රි පන්තිවලට පවා සහභාගි වෙමින් ගත් වෙහෙසේ ප්‍රතිඵලය කුමක් වුවත් එය භාර ගැනීමට මවුපියන් සූදානම් විය යුතුය. දරුවා රෑ 12 වන තෙක් අවදියෙන් තබා ගැනීමම වික්‍රමයක් නොවේද? දරුවන් කුමන ලකුණක් ලබා පැමිණියද ඒ දරුවන්ට වෙනදා දැක් වූ ආදරය කරුණාව සෙනෙහස ලබාදීම කළ යුතුය.

පෙරටත් වඩා දැන් දරුවන්ට ආදරය රැකවරණය අවශ්‍යය. මොකද දැන් ඔවුන් නව යොවුන් විය එළිපත්තට ළඟාවෙමින් සිටින බැවිනි. එකිනෙකාගේ ලකුණු සංසන්දනය කරමින් දරුවන්ට ‍ෙදාස් නැඟීමෙන් වළකින්න. ඔබේ දරුවා සතුටින් තැබීමට උත්සාහ කරන්න. දරුවා කම්පනයකින් හෝ මානසික පීඩනයකින් සිටින්නේ නම් ඔහු හෝ ඇය ළඟින් සිටින්න. ඒ කම්පනය, කැලඹිලි සහගත බව ටික කලක් පවතී නම් සුදුසු මනෝ වෛද්‍යවරයකු, මනෝවිද්‍යාඥයකු, මනෝ උපදේශකවරයකු වෙත කැඳවාගෙන යන්න.

ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු නම් ග්‍රාමීය අසරණ ජනතාවගේ විශිෂ්ට හැකියා ඇති අහිංසක දූදරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමත්, තවත් කොටසකට ජනප්‍රිය පාසල් ලබා දීමත් යන කරුණුය.

රුපියල් 500 බැගින් සෑම මසකම උසස් අධ්‍යාපනය ලැබීමට යන තෙක්ම තෝරා ගත් එම ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාරය ලැබෙයි. මෙය මේ වසරේ සිට 750 දක්වා වැඩි කරන බව ආණ්ඩුව පවසයි. කෙසේ වෙතත් මේ විභාගයේ බරපතළම ප්‍රශ්න මතුවන්නේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම යන කාරණයයි.

කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ දර්ශනය වෙනුවට එහි විකෘතියක් පැන නැඟී ඇත්තේ මේ නිසාය. අර කියූ ග්‍රාමීය දරුවන් 15,000 හෝ ඊට ආසන්න වැඩි ගණනට වඩා තරගය ඇත්තේ මධ්‍යම පාන්තික දරුවන් මේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමටය. හැබැයි අප මුලින් කී පරිදිම කර්මාන්තශාලාවක් බඳු එවැනි පාසල්වල බොහෝ දරුවන් එම පාසල්වල ඉන්න ගුරුවරු බොහොමයක් නොහඳුනති. විදුහල්පති මුණ නොගැසෙති.

එහෙත් මේ ජනප්‍රිය පාසල් හරහා අපේ රටේ කාලයක් තිස්සේ පැලපදියම් කළ වෙනම කරුණු රාශියක් තිබේ. ඒවා වෙනස් කරන්නත් කර්මාන්තශාලා වැනි මෙවැනි පාසල්වලට සීමා පැනවීම බලධාරීන්ගේ වගකීමකි. දියුණු රටවල පන්ති කාමරයේ සිසුන් 25-30 අතර සංඛ්‍යාවක් සිටිද්දී අපේ රටේ පන්ති කාමරයක ළමයින් 50ක් පමණ සිටිති. 20×20 පන්ති කාමරයක එවැනි සිසුන් සංඛ්‍යාවක් දැමිය හැකිද? එය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

කරුණු මෙසේ හෙයින් දරුවනි, ඔබ මුහුණ දුන් එක් විභාගයක ප්‍රතිඵල මේ ලැබී තිබෙන්නේ. මේ සිසු දරුවන් සියලු දෙනාම ඊට මුහුණ දුන්නා. ඒ වෙනුවෙන් කැප වුණා. ඒ සඳහා උනන්දු වුණා. ලංකාවේ ලක්ෂ 3කට වැඩි පිරිසක් මේ විභාගයට වාඩි වුණා. ඉන් අහිංසක දුප්පත් පවුල්වල දරුවන් සංඛ්‍යාවකට අත හිත දෙන්න රජය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ.

ඒ වගේම තවත් දක්ෂතා පෙන්වන දරුවන් සීමිත පිරිසකට වෙනත් නගරයේ පාසලකට ඇතුළු වෙන්න පුළුවන්කම ලැබෙන්න මේ විභාගය පවත්වන්නේ. අඩු ලකුණු ගත්තා කියලා ඔබ අසමත් නෑ. ඔබ ගොඩක් දේවල්වලින් සමත් වෙලා තියෙනවා. අපේ පාසල නැතිනම් ළඟම පාසල ඔයාව 6 ශේ්‍රණියට භාර ගැනීමට බලාගෙන ඉන්නවා. මේ හැම කෙනෙක්ම 6 ශේ‍ර්ණියට සමත් වෙනවා.

ඒ නිසා කිසි කෙනෙක් අසමත් නෑ. 6 ශේ‍ර්ණියෙන් පස්සේ ඔයාගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් දියුණු කර ගන්න. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සියලු දෙනාට ජයග්‍රාහී අනාගතයක් උදාවෙනවා. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න.

එස්.එම්. පී. බණ්ඩාර
පුලසිතිපුර ජාතික අධ්‍යාපන
විද්‍යාපීඨයේ කථිකාචාර්ය

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon