ගෝඨාභය ඇතුළු 7 දෙනකුට එරෙහිව නීතිපති පවරා ඇති නඩුව දෙසැම්බර් 4 වැනිදා සිට නඩුව දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් නියෝග

  👤  2684 readers have read this article !
By mawbima 2018-10-10

කේ.එස්. උදයකුමාර්

පසුගිය රජය සමයේ මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (09දා) නියෝග කළේය.

මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත තිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

එහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව දක්වමින් මූලික විරෝධතාවක් නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැන්වීය.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ අයුරින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ සාරාංශයක් කලින්ම තමා වෙත ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. එසේ ලබාදීම තුළින් තමාට අප්‍රමාදව මූලික විරෝධතාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව සැලසෙන අතර ඒ හරහා නඩු විභාගය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වළක්වාගත හැකි වනු ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇති අතර සාධාරණ නඩු විභාගයක් සඳහා එම ලේඛන තමාට බෙහෙවින් වැදගත් වන බවද දන්වා සිටියේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වමින් විත්තිකරුවන්ගේ අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන දැනටමත් ඔවුන් වෙත භාරදී ඇති බවත් ඊට පරිබාහිර වූ ලේඛන වේ නම් ඒවාද ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නඩු විභාගයට අවශ්‍ය ලේඛන ලබා ගැනීම සඳහා අධිකරණයට කළ හැක්කේ අධිකරණයට සහාය වීම පමණක් බවත් අධිකරණයේ සහාය ලබාගෙන අදාළ අංශවලින් තමන්ට අවශ්‍ය ලේඛන ලබා ගැනීමට විත්තිය කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව ලබන 19 වැනිදා කැඳවන ලෙසත් මෙම නඩුවේ විභාගය දෙසැම්බර් මස 04 වැනිදා සිට දිනපතා විභාගයට ගන්නා බවද ත්‍රිපුද්ගල විශේෂ මහෙස්ත්‍රාත් විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුදම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන මහත්ම මහත්මීන් නම් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon