වාරිමාර්ග අමාත්‍යාංශ හිටපු ලේකම් අයිවන් ද සිල්වාට යළි වරෙන්තු

  👤  2633 readers have read this article !
By mawbima 2018-10-10

අමිල අබේරත්න

පසුගිය රජය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරනු ලැබූ 'ගිං නිල්වලා' ව්‍යාපෘතිය සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් 5%ක මුදලක් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී එම මුදල 4.23%ක් ලෙස ගෙවීමට අනුමැතිය දී ව්‍යාපෘතිය ආරම්භ නොකිරීමට සලස්වා රුපියල් මිලියන 4,012ක් රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් ද සිල්වා යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පෙරේදා (8දා) යළි විවෘත වරෙන්තු නිකුත් කළාය.

නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිට දිගින් දිගටම අධිකරණය මඟහැරීම මත හිටපු ලේකම්වරයාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම පරිදි මහෙස්ත්‍රාත්වරිය විසින් විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.


අධිකරණය මඟහැර සිටීම මත මහෙස්ත්‍රාත්වරිය හිටපු ලේකම්වරයාට එරෙහිව මීට පෙර වරෙන්තු නිකුත් කළ අතර වරෙන්තු නිකුත් කර සිටියදී අධිකරණය මඟහැරීම මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම සලකා විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.

හිටපු ලේකම්වරයාට මේ වන විට නවසීලන්තයේ සිටීම මත විවෘත වරෙන්තුවේ පිටපතක් ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ලේකම්වරයාට යොමු කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම පරිදි මහෙස්ත්‍රාත්වරිය විවෘත වරෙන්තුවේ පිටපතක් ඉංගී්‍රසි භාෂාවෙන්ද නිකුත් කෙරිණි.

මීට පෙර අධිකරණය මඟින් හිටපු ලේකම්වරයාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව හිටපු ලේකම්වරයාට යොමු කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කිහිප වතාවක් උත්සාහ දරා තිබූ අතර ඔහු නවසීලන්තයේ පදිංචි සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිවීම මත එය ව්‍යර්ථ වී තිබිණි.

චීනයේ සී.ඒ.එම්.සී. (ඛ්ඒර්ඛ්) නමැති ඉන්ජිනේරු සමාගමකට 4.23% අත්තිකාරම් මුදල් ලෙස රුපියල් මිලියන 4,012ක මුදලක් ගෙවා ඇති අතර ව්‍යාපෘතියේ මුල් අදියරට අවුරුද්දක කාලයක් සඳහා ජාතික අය-වැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 40ක මුදලක් වන අතර අය-වැයෙන් රුපියල් මිලියන 4,012ක මුදලක් අදාළ 'ගිං නිල්වලා' ව්‍යාපෘතිය සඳහා වෙන් කිරීමට අනුමැතිය දී නොමැත.

ඊට විරුද්ධව යමින් හිටපු ලේකම්වරයා භාණ්ඩාගාරයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන්කළ මුදලින් ව්‍යාපෘතියට අදාළව චීන සමාගමට මිලියන 4,012ක මුදලක් ගෙවීමට අනුමැතිය ලබාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon