වලසුන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ සිවිල් ආරක්ෂකයා වෙඩි තබාගෙන

  👤  3018 readers have read this article !
By mawbima 2018-10-10

මොනරාගල - සංජීව බණ්ඩාර

වලසුන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා (08දා) ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි කරාඹුගල පොලිසිය පවසයි.

මෙම සිවිල් ආරක්ෂක භටයා වෙඩි තබා ගැනීමට ප්‍රථම සිමෙන්ති පොළව මත අඟුරු කැබැල්ලක් භාවිත කරමින් "වලසුන් තුන් දෙනෙක් එක්ක පොර බැදුවා බේරෙන්න බැරි වුණා. වලහ කෑවා මං පැරදුණා. මෙතනින් එහාට යා ගන්න බැහැ. සතුට" යනුවෙන් ලියා තබා ඇති බව අනාවරණය වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කරාඹුගල පොලිසියට අනුයුක්තව සේවය කළ මුල්ලේගම, නෙල්ලියද්ද ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ රවින්ද්‍ර තුෂිත කුමාර නමැති තිස්නව හැවිරිදි අවිවාහකයෙකි.

මෙම සිවිල් ආරක්ෂක භටයා දින තුනක හිලව් නිවාඩු ලබා ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මුල්ලේගම කොබ්බෑකැටිය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 08ක් පමණ දුරින් කුරුඳුගොල්ල නම් ප්‍රදේශයට ගොස් සිටියදී මෙම වලස් ප්‍රහාරයට ලක්වී තිබෙන බව පොලිසිය පවසයි. වලස් ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ මෙම සිවිල් ආරක්ෂක භටයා ඉඟිනියාගල මුල්ලේගම කොබ්බෑකැටිය ප්‍රදේශයේ වට්ටක්කා හේනකට පැමිණ එම හේනේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බව විමර්ශනයකින් හෙළිවී තිබේ.

මෙම වෙඩි තබා ගැනීම පෙරේදා (08දා) පෙරවරු 8.00ත් 10.00ත් අතර කාලයේ සිදුකරගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

සිවිල් ආරක්ෂක භටයා සිද්ධිය වූ ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් කුරුඳුගොල්ල ප්‍රදේශයට ගියේ මන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත කරාඹුුගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. උදයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon