කැබිනට් අනුමැතියට පරිබාහිරව සතොස හරහා සහල් ගෙන්වීම සතොස නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර

  👤  2704 readers have read this article !
By mawbima 2018-10-10

අමිල අබේරත්න

2014, 2015 කාල සීමාවේදී කැබිනට් අනුමැතියට පරිබාහිරව සතොස හරහා සහල් මෙටි්‍රක් ටොන් දෙලක්ෂ පනස් හත් දහස් පන්සිය පනස් තුනක (මෙටි්‍රක් ටොන් 2,57,553) ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම හරහා රජයට බිලියන 15ක පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව සතොස ආයතනයේ නිලධාරීන් කිහිප දෙනකුගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබා දුන්නාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබා දුන්නාය.

සිද්ධියට අදාළව "බී" වාර්තාවක් මඟින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරියකු අධිකරණයට ප්‍රකාශ කර සිටියේ එලෙස ආනයනය කළ සහල් තොග අතර පරිභෝජනයට නුසුදුසු සහල්ද ඇති බවය.

කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් ප්‍රමාණයට පටහැනිව සතොස මඟින් සහල් ආනයනය කර තිබෙන බවද ඇතැම් අවස්ථාවල කැබිනට් අනුමැතිය ලබාදුන් සහල් මෙටි්‍රක් ටොන් ප්‍රමාණය ඉක්මවා සතොස මඟින් සහල් ආනයනය කර ඇති බවද එම පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සහල් ආනයනය කිරීමේ සිද්ධිය සඳහා සතොස නිලධාරීන් සහ සහල් නිශ්කාශනය කළ සමාගමේ නිලධාරීන් සම්බන්ධ බවට අනාවරණය වී තිබෙන බවද ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරමින් පවතින බවද එම නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon