කාර් අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මියයති; 11 හැවිරිදි දරුවාට බරපතළයි

  👤  795 readers have read this article !
By mawbima 2018-09-26

මොනරාගල - සංජීව බණ්ඩාර, පානම්පත්තුවේ - මුදියන්සේ අත්තනායක, පානම - චින්තක

පොතුවිල් - අක්කරපත්තුව මාර්ගයේ කුංඤ්ඤඕඩය පාලම අසලදී මාර්ගයේ ගමන් ගත් එකම පවුලේ සිවුදෙනකු පෙරේදා (24දා) පස්වරුවේ කාර් රථයක ගැටීමෙන් තිදෙනකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ පොතුවිල් 03, මුහුදු පාර ලිපිනයේ පදිංචි සවුසුල් අකීමියා (34 - මව), මීඩා මසුවුඩි (මාස 06 - දුව) හා ජුබිබියාකා හමීඩ් මයුම් (අවු. 12 - දුව) යන එකම පවුලේ මව සහ දූවරුන් දෙදෙනෙකි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ජුබිබියාකාන් අස්වන් (අවු. 11 - පුතා) පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකළපුව මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. එම තුවාලකරුගේ තත්ත්වයද බරපතළ බව පොතුවිල් පොලිසියේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවැසීය.

පොතුවිල් - අක්කරපත්තුව මාර්ගයේ කුංඤ්ඤඕඩය පාලම අසලදී පෙරේදා (24දා) පස්වරු 6.40ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දෙසට ගමන් ගත් කාර් රථයක මෙම එකම පවුලේ පිරිස ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා රියැදුරු තෙල් ගෙන ඒමට ගිය අවස්ථාවේ මොවුන් තිදෙනා ත්‍රිරෝද රියෙන් බැස මාර්ගයේ දකුණු පසින් ගමන් ගෙන තිබෙන බව හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රඹුක්කන, පත්තම්පිටිය, කෙන්පිටිකන්ද ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයකු බව අනාවරණය වී තිබේ.

සැකකරු අනතුර සිදුකළ කාර් රථය සමඟ ඉයේ (25දා) පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon