ස්වීඩනයෙන් වෛද්‍යවරු පිරිසක් පැමිණ ඕමන්ත දුම්රිය අනතුරින් තුවාල ලැබූ දැරිය ගෙන යති

  👤  858 readers have read this article !
By mawbima 2018-09-26

මඩුකන්ද - දීපාල් බණ්ඩාර, ඕමන්ත - ශේෂලා අමරසිංහ, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව ඕමන්ත පන්රිකේතකුලම් ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු හයක් වූ කමලදාසන් ජෙසිකා දැරිය වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24දා) සවස ස්වීඩන් රාජ්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් විසින් එරටට ගෙන යනු ලැබීය.

ඒ දරුවාගේ ඥාතීන්ගේ ඉල්ලීමකට අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණි වෛද්‍යවරු කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළේ සිට වවුනියාව දක්වා මගී ප්‍රවාහන හෙලිකොප්ටරයක් මඟින් පැමිණ වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලින් භාරගෙන රැගෙන ගිය බව වවුනියාව රෝහල පැවැසීය.

එම වෛද්‍යවරු කණ්ඩායම හෙලිකොප්ටරය මඟින් දැරිය කටුනායක දක්වා රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගුවනින් රැගෙන යන බවත් අනතුරුව ස්වීඩනයට රැගෙන යෑමට කටයුතු කරන බවත් දැරියගේ ඥාතීහු පැවැසූහ.

රිය අනතුරින් දැරියගේ මව වන 30 හැවිරිදි කමලනාදන් ශිවරංජනා යන අය ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 34ක් වූ දැරියගේ පියා වූ ජේම්ස් කමලනාදන් අනතුරින් තුවලා ලබා යාපනය මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

ඔවුන් ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් බවත් නිවාඩුවකට ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ තම ඥාතීන් පිරිසක් බැලීම සඳහා මෝටර් රථයකින් වවුනියාව ඕමන්ත පන්රිකේතකුලම් ප්‍රදේශයට පැමිණීමේදී පසුගියදා (16දා) දුම්රිය අනතුරට මුහුණ පා තිබිණි.

අනතුරින් වයස 56ක් වූ ඉසෙයි ඥානවතී යෝගරත්නම්, 30 හැවිරිදි කමලනාදන් ශිවරංජනා, 32 හැවිරිදි කාන්දීපන් යමුනාරංජනා යන කාන්තාවන් සමඟ 13 වියැති කාන්දීපන් දිසාලනී නමැති දැරියද ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවැසීය.

පොලිසිය පැවසුවේ අනතුරින් තවත් සිවු දෙනකු තුවාල ලබා දිවි බේරී ඇති බවයි. ඒ 34 හැවිරිදි ජේම්ස් කමලනාදන්, සිවුහැවිරිදි කමලනාදන් ජෙසිකා දැරියත්, සත් හැවිරිදි කාන්දීපන් දර්ශිකන් දරුවා හා 53 හැවිරිදි රථයේ රියැදුරු වූ මුත්තයියා ගනපති නමැති අය බවයි.

අනතුරින් දැරියගේ ශරීරයේ මෙන්ම කම්පන තත්ත්වය හේතුවෙන් මානසික දුර්වලතාවකටද පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon