මදුරු මර්දන සතියට සමගාමීව පාසල් මට්ටමින් වැඩපිළිවෙළක්

  👤  659 readers have read this article !
By mawbima 2018-09-26

ජේ.ටී. ද සිල්වා

ඊසාන දිග මෝසම් වැසි ආරම්භයත් සමඟ දිවයින පුරා නැවතත් ඩෙංගු රෝගය මතුවීමේ අවදානමක් පැනනැඟී ඇති බැවින්, එම තත්ත්වය අවම කරලීම සඳහාත්, පාසල් දරුවන් ඩෙංගු අවදානමෙන් මුදා ගැනීම සඳහාත් ජාතික මදුරු මර්දන සතියට සමගාමීව පාසල් මට්ටමෙන් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ජාතික මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ජාතික මදුරු මර්දන සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව පාසල් දරුවන්, ගුරු භවතුන්, විදුහල්පතිවරුන්, පළාත් හා කලාප කාර්යාල නිලධාරීන්, අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සහ මවුපියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මේ වනවිටත් සියලු පළාත් ප්‍රධානීන් දැනුවත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම පිණිස ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට අමතරව සියලු පාර්ශ්ව සම්බන්ධකර ගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සහ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක නොකරන පාසල්වල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

නිවෙස් තුළ මදුරු මර්දන කටයුතු සිදුකිරීම සහ තම පාසල් මදුරුවන්ගෙන් තොර හොඳම පාසල බවට පත්කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පළාත් කලාප මට්ටමෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද අපේක්ෂා කෙරේ.

පාසල් තුළ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා සැප්තැම්බර් මස 28 වන දින වෙන්කර ඇත.

ජාතික මදුරු මර්දන වැඩසටහන අද සිට ඔක්තෝබර් 02දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, සියලු පාසල් තුළ ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීමටද විදුහල්පතිවරුන් විසින් පියවර ගැනීමටද නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon