සරසවි සිසුන් හා පිටස්තරයන් ගැටී යතුරුපැදියකට ගිනි තබයි යතුරුපැදියේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසක්

  👤  751 readers have read this article !
By mawbima 2018-09-26

කොළඹ _ එම්.සී. පෙරේරා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හා පිටස්තර තරුණයන් කිහිප දෙනකු අතර සිදුවූ බහින්බස් වීමකින් පසුව පිරිවෙන හන්දිය එගොඩවත්ත පාර වෙල්යාය අසලදී පෙරේදා (24දා) යතුරුපැදියකට ගිනි තබා විනාශ කර ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

සාදයකට සහභාගි වී රත්තනපිටිය තරුණයන් කිහිප දෙනකු රාත්‍රි 11.00ට පමණ නිවෙසට යන අතරතුර විශ්වවිද්‍යාලයේ පසුපස ගේට්ටුව අසල රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි සරසවි සිසුන් කිහිපදෙනකු ඔවුන් කවුදැයි විමසා ඇති අතර එවිට එම තරුණ පිරිස තමන් සරසවි සිසුන් බව පවසා ඇත.

එහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් හට ගැනීමෙන් පසු සරසවි සිසුන් විද්‍යාල භූමියට ගොස් නේවාසිකාගාරයේ සිටින සිසුන් සිය දෙනකුට ආසන්න පිරිසක් කැඳවා ගෙන පැමිණෙනු දුටු තරුණ පිරිස ඔවුන් පැමිණි යතුරුපැදියද රැගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත.

තමන් පසුපස සිසුන් හඹා එනු දුටු තරුණයන් යතුරුපැදිය මිතුරකුගේ නිවෙස ඉදිරිපිට නවතා එම නිවෙසට ගොස් සැඟවී තිබේ. පසුව පැමිණ බලද්දී යතුරුපැදිය එම ස්ථානයේ නොමැති බව දැනගෙන ඇත. පසුදින ලැබුණු ආරංචියක් අනුව ගොස් බැලීමේදී යතුරුපැදිය ගිනි තබා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

ගිනි තැබූ යතුරුපැදියේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසක් බවද කියයි.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල ගම්ලත් මහතා පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon