ධන යෝජන ළමා ගිණුමක් අරඹා අඛණ්ඩව මුදල් දමා වසර 18කට පසුව බලද්දී මුදල් නැතැයි කියලා

  👤  2380 readers have read this article !
By mawbima 2018-09-26

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

සිය දියණිය උපන් අවස්ථාවේ ආරම්භ කළ බැංකු ගිණුමේ මුදල් පැවැරීම සඳහා වසර දහ අටකට පසුව අදාළ රාජ්‍ය බැංකුවට ගිය පසුව දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් එක්කාසු කළ ගිණුම ඇතත් කිසිදු මුදලක් එහි නැති බව පැවැසීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වූ බව ගිණුමේ භාරකරු වූ පියෙක් පැවැසුවේය.

අනුරාධපුර බැංකු පෙදෙස ආසන්නයේ පිහිටි රාජ්‍ය බැංකුවක ධන යෝජන ළමා ගිණුමක් ආරම්භ කළ නවය ඇළ හිදෝගම පදිංචි ආනන්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

සිය දියණිය උපන් අවස්ථාවේ ඇය වෙනුවෙන් රාජ්‍ය බැංකුවේ ළමා ධන ආයෝජන ගිණුම ආරම්භ කර වසර 5ක් තිස්සේ අඛණ්ඩව මුදල් තැන්පත් කර වසර දහ අටකට පසුව සිය තරුණ දියණියගේ නමට ගිණුම හරවා ගැනීමට ගිය අවස්ථාවේදී ගිණුම ඇතත් මුදල් එහි නැතැයි බැංකු නිලධාරීන් පැවැසූ බව ඔහු අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගිණුමේ භාරකරු වූ ආනන්ද ජයතිස්ස මහතා,
මම මගේ දියණියට 2000 වසරේ ජුනි මස 21 වැනිදා අදාළ බැංකුවේ ධන ආයෝජන ගිණුමක් ආරම්භ කළා රුපියල් සියයකින්. එහෙම අවුරුදු පහක් නොකඩවාම රුපියල් සියය බැගින් 2005 ජුනි මාසේ 28 වැනිදා වෙනකම් මුදල් තැන්පත් කළා.

අවසන් වරට මුදල් තැන්පත් කළ පසුව බැංකුවේ නිලධාරියා කිව්වා ආපහු මුදල් තැන්පත් කරන්න අවශ්‍ය නෑ කියලා. 2005 ජුනි මාසේ 28 වැනිදා වෙනකොට රුපියල් 8206ක මුදලක් ගිණුමේ තියෙනවා කියලා සටහන් වෙලා තියෙනවා. මම අවුරුදු 18කට පස්සේ ගියා දුවගේ මුදල් වෙනත් සාමාන්‍ය ගිණුමකට බැර කරන්න. පොත බලලා කියනවා ගිණුම් අංකය හරි ගිණුමකුත් තියෙනවා. හැබැයි මුදල් නෑ කියලා.
මේ සම්බන්ධයෙන් මම කළමනාකාරවරයාටත් දැන්වූවා. නමුත් ඔහුගෙන් නිසි පිළිතුරක් ලැබුණෙ නෑ. කොළඹට දන්වලා තියෙන්නේ කිව්වා. මම කොළඹ බැංකුවකට සල්ලි දැම්මේ නෑ. අනුරාධපුර ශාඛාවටයි මුදල් දැම්මේ. නමුත් දැන් කොළඹින් උත්තර එනකම් බලන් ඉන්න වෙලා. මේ වගේ බැංකු ගිණුම් කීයක සල්ලි අතුරුදන් වෙලා ඇද්ද? මේ ගැන වහාම හොයලා බලන්න කියලා මම මහ බැංකු අධිපතිතුමාගෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවායි ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ ගිණුම් අංකයත් ලබාදී උතුරු මැද පළාත්
කළමනාකාරවරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ, බැංකු දෙකක් තියෙනවා. මට හරියටම කියන්න මොන ශාඛාවෙද ඔය ගිණුම තියෙන්නේ කියලා. ඔය ගිණුම් දැන් සාමාන්‍ය ගිණුම් බවට පත්කරලා තියෙන්නේ. බැංකුවට ඇවිල්ලා ප්‍රශ්නය විසඳගන්න පුළුවන් යැයි ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon