පොදු අපේක්ෂකයාට සහාය දුන් බලවේග ජනාධිපති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවා

  👤  2381 readers have read this article !
By mawbima 2018-09-26

වත්මන් ජනාධිපතිවරයාව බලයට රැගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන්ම ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවා නම් යහපාලන ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයාට සිතා බැලීමට කාලය එළැඹ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

මෙම ඝාතන ප්‍රයත්නය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවත් ඊට අධිකරණමය පියවර නොගනිමින් කටයුතු කිරීම පිළිබඳව අගමැතිවරයාත් නීතිය භාර ඇමැතිවරයාත් රටට කරුණු දැක්විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයා ඇතුළු ඇමැති පිරිවරත් රටට සිදු කර ඇති අගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්විය යුතු බවද ලංකාවේ සම්පත් විකිණීම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අර්ජුන මහේන්ද්‍රන් යැයි තොරතුරු ලැබී තිබෙන බවද වාසුදේව නානායක්කාර මහතා පැවැසුවේය.

නානායක්කාර මහතා මේ බව පැවැසුවේ ඊයේ (25දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.
හෙතෙම මෙසේද කීවේය.

මංගල සමරවීර මහත්මයා කියන්නේ මුදල් ඇමැති කෙනකුට වඩා ජනමාධ්‍ය ඇමැති කෙනෙක්. ඔහුට හොඳ ජනමාධ්‍ය දක්ෂතාවක් තිබෙනවා. බොරු කතාවලින් ඇත්ත කතා යටපත් කරන්නට එතුමා දක්ෂයි. එයා කියනවා රුපියලේ වටිනාකම අඩුවෙලා කියන්නේ 7%කින් කියලායි. ඉන්දියාවේ එය 9%යිලු. ඒ නිසා ලංකාවේ තත්ත්වය හොඳයිලු. අපි ඇත්ත ඉලක්කම්වලට යමු. 2005දී ඩොලර් 1ක වටිනාකම අපේ මුදලින් රුපියල් 114යි.

2015දී එය 132 දක්වා වර්ධනය වුණා. රුපියල් 18ක් අවප්‍රමාණය වී තිබෙනවා. 2015 ඉඳන් 2018 වෙනකොට ඩොලරයේ අගය කීයකින් වැඩිවෙලාද?

රුපියල් 39කින් වැඩිවෙලා. දැන් ඩොලරයක් රුපියල් 172යි. සියයට ගණන් ගෙනැල්ලා මේවා වසන් කරන්නට බැහැ මංගල ඇමැතිවරයාට. මේ තත්ත්වය නිසා අපි ණය නොගත්තත් අපේ විදේශ ණය ප්‍රමාණය අද වැඩිවී තිබෙනවා.

ජනාධිපතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පිළිබඳව දැන් කතා කරනවා. මීට සම්බන්ධයි කියන පොලිස් නිලධාරියා මොනවා කිව්වාද කියලා මම දන්නේ නැහැ. මෙය ඝාතන සැලැස්මක්. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. මේ පිළිබඳව වහාම උසාවියට කරුණු වාර්තා කළ යුතුයි. මේ අපරාධවල අවසාන පරීක්ෂකයා අධිකරණයයි. පොලිසිය නොවේ.
කවුරුත් දන්නවා මේ පොලිස් නිලධාරියාව පොලිස්පතිවරයා ආරක්ෂා කරන බව.

ජනාධිපතිවරයා කියන්නේ අපි නොබැඳි ප්‍රතිපත්තියක් ගෙනයනවා කියලායි. නමුත් අගමැති ප්‍රමුඛ පිරිස් ගෙනියන්නේ නොබැඳි ප්‍රතිපත්තියක් නෙවෙයි. ඇමෙරිකන් කඳවුරට පක්ෂව ගෙනයන ප්‍රතිපත්තියක් මෙය. අපි අහනවා ජනාධිපතිතුමා මේ ගැන මොකද කියන්නේ කියලා. නොබැඳි ප්‍රතිපත්තිය දැන් දූෂණය වෙලයි තිබෙන්නේ.

සිංගප්පූරු ගිවිසුම නිසා රටේ සම්පත් විනාශ වන එක ගැන සොයන්න කමිටු දමන එක හොඳයි. නමුත් මේ ගිවිසුම දැන් ක්‍රියාත්මකයි. ජනාධිපතිවරයා මෙම ගිවිසුම නවත්වලා නැහැ තවම.
අපිත් එක්ක ආණ්ඩුවේ සිටි ඇමැතිවරුන් එක් වුණා. අපි තවත් අයට අපත් සමඟ එකතුවීම වෙනුවෙන් අනුබල දිය යුතුයි.

ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේ ව්‍යාපාරයෙන් අයින් වුණ නිසයි අපට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවුණේ. වැරැදි විනිමය ප්‍රතිපත්තියත් එයට බලපෑවා. අපි විනිමය පාලනය කළ යුතුයි. ආනයනයත් පාලනය කළ යුතුයි.

අද පවතින නීතියට අනුව උපයන විදේශ මුදල් ලංකාවට ගෙන ඒමට නියමයක් නැහැ. ඉහළ පන්තියට ලබාදී ඇති සහන නිසා මේ රටේ පොදු ජනතාවට එය බරක් වෙලයි තිබෙන්නේ.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon