රාජිත හා මා සයිටම් මුදලාලිගේ සාක්කුවට වැටී ඇතැයි කීම දැන් පුස්සක් වී හමාරයි

  👤  2884 readers have read this article !
By mawbima 2018-09-25

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටු කළ මේ රටේ අධිකරණයත් සයිටම් මුදලාලිගේ සාක්කුවේද කියා තමන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙන් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රශ්න කරන බව පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

සයිටම් වෛද්‍ය සිසුන් වෙනුවෙන් තමාත් රාජිත සේනාරත්න ඇමැතිවරයාත් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් දැඩි අරගලයක් සිදුකරන අවස්ථාවේදී තමා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සයිටම් මුදලාලිගේ සාක්කුවට වැටී ඇති බවට එල්ල කරන ලද චෝදනා මේ වනවිට පුස්සක් වී තිබෙන බව කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සයිටම් ගැටලුව විසඳන තුරු සහ සයිටම් වෛද්‍ය සිසුන්ගේ ගැටලුවට අධිකරණ තීන්දුව ලැබෙන තුරු ඉවසීමෙන් සිටින ලෙස තමා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් දිගින් දිගටම කළ චෝදනා මෙම අධිකරණ තීන්දුවත් සමඟ ප්‍රතික්ෂේප වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාලඹේ සයිටම් විද්‍යාලයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයන් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට අභියාචනාධිකරණ තීන්දුව ශේ්‍රෂ්ඨාධිකරණය විසිනුත් තහවුරු කර තිබෙන බවත් මෙම නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් වන නිසා මේ ගැන තමා අභියාචනාධිකරණයටත්, ශේ්‍රෂ්ඨාධිකරණයටත් ප්‍රණාමය පුද කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. සයිටම් වෛද්‍ය සිසුන්ට සිදුවීමට ගිය විශාල අසාධාරණයක් අධිකරණයේ මැදිහත්වීම නිසා වැළකුණු බවත් අපේම රටේ දූ පුතුන් පිරිසකට සිදුවීමට ගිය අසාධාරණයක් මේ ආකාරයෙන් වළක්වා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon