තදබල අයිස් වැස්සක් සමඟ සුළිසුළඟක් හේතුවෙන් කහටගස්දිගිලිය නිවාස 44කට හානි

  👤  2932 readers have read this article !
By mawbima 2018-09-25

අනුරාධපුර - මහේෂ් විජේසූරිය, මැදවච්චිය - ගයාන්

තදබල අයිස් වැස්සක් සමඟ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පහකට බලපෑම් එල්ල කරමින් හදිසියේ හමා ගිය දරුණු ටෝනාඩෝ තත්ත්වයක් හේතුවෙන් නිවාස 44කට පූර්ණ හා අර්ධ හානි සිදු වී විදුලිය බිඳවැටී මහාමාර්ග රැසක් අවහිර වී ඇති බව කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ඒකකය සඳහන් කළේය.

පෙරේදා (23දා) සවස අයිස් වර්ෂාව සමඟ ඇති වූ ටෝනාඩෝ තත්ත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයේ මහවැව 221 ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 20කටත් දිවුල්වැව 215 ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10කටත්, ටික්කම්පොතාන 214 ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 03කටත්, කොහොඹගස්කඩ 220 ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10කටත්, පුංචිහල්මිල්ලෑව 219 ග්‍රාම නිලධාරි තුලානේ නිවාස එකකටත් හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. මෙම ප්‍රමාණයන් මීට වඩා වැඩි විය හැකි බව එම ඒකකය සඳහන් කළේය.

මේ අතරින් නිවාස තුනක වහල සෙවිලි මුළුමනින්ම ගැලවී ගොස් බරපතළ අලාභහානි සිදුව තිබෙන බවත් තවත් නිවාස දෙකකට සැලකියයුතු මට්ටමේ හානි සිදුවී තිබෙන බවත් ආපදා ඒකකය සඳහන් කළේය. මෙම නිවාසයන්ට වඩා තවත් හානි රැසක් සිදුවී ඇති බව මුකිරියාව හා වැලිගොල්ලෑව ගම්වාසීහු සඳහන් කළහ.

මුකිරියාව මහ විද්‍යාලය ඇතුළුව නිවාස 15කට පමණ හානි සිදුවී ඇතත් ගස් කඩාවැටීම නිසා නිලධාරීන්ට එහි පැමිණීමට නොහැකි වී ඇති බව ඔවුන් සඳහන් කළේය. මුකිරියාව විද්‍යාලයේ ආපනශාලාවට හා ඒ ආසන්නයේ පිහිටි ජල පිරිපහදු ඒකකය මතට ගස් කඩාවැටීම නිසා බරපතළ හානි සිදුව තිබෙන බව ගම්වැසියෝ සඳහන් කළහ. හදිසියේ ඇති වූ දරුණු සුළඟ සමඟ ප්‍රද්ශයේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් මාර්ගයන්ට, නිවාස මතට හා විදුලි රැහැන් මතට කඩාවැටුණු බව ගම්වැසියෝ පැවැසූහ. කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව ප්‍රධාන මාර්ගයේ වැලිගොල්ලෑව ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් මතට විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක් කඩාවැටීම නිසා විදුලිය විසන්ධි වී මාර්ගයන් අවහිර වී ඇති බව ගම්වැසියෝ සඳහන් කළහ.

"මම හිටියේ හේනේ. වහින්න වගේ ආව නිසා ගෙදර ආවා. ගෙදර එද්දීම එක පාරම අයිස් එක්ක වැස්සක් වහින්න ගත්තා. මුළු මිදුලම අයිස් තට්ටුවක් වගේ තිබුණේ. කිසිම දෙයක් පේන්නැතුව ගියා. ඔක්කොම කැරකෙනවා විතරයි දැක්කේ. අඩි දෙකක දුරක්වත් පෙනුණේ නෑ. එකපාරම සුළඟ ආවේ කැරකි කැරකි. ගමේ ගෙවල් විස්සකට විතර අලාභහානි වෙලා තියෙනවා"යි මහවැව ගම්මානයේ වැසියෙක් 'මව්බිම'ට පැවැසීය.

"ගස් ඇඹරිලා නිවාස උඩට කඩාවැටුණා. සමහර ගස් මුලින්ම ඉදිරිලා වැටුණා. නිවාස රැසක වහල කඩාගෙන ගියා. විදුලි රැහැන් උඩට විශාල ප්‍රමාණයේ ගස් ඇදගෙන වැටිලා බරපතළ අලාභහානි සිදුවී තිබෙනවා. ප්‍රදේශ රැසකටම විදුලිය නෑ. මාර්ග රැසක්ම අවහිර වෙලා තියෙන්නේ. වර්ෂාවත් එක්ක ආපු සුළඟ නිසා නිවාසවල බඩුබාහිරාදිය රැසකට අලාභහානි සිදුව තිබෙනවා"යි ඔහු පැවසුවේය.

නිවාසවලට බරපතළ අලාභානි සිදුවුවත් කිසිදු පුද්ගලයකුට ශාරීරික හානියක් සිදුවී නැති බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ නිවාසවලට සිදුව ඇති හානිය තක්සේරු කර කඩිනමින් වන්දි මුදල් ලබාදෙන බවත් රුපියල් දස දහසකට වැඩි අලාභයන් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් දස දහසක් ලබාදෙන බවත් ඒ මහතා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon