ගෝනි බිල්ලන් මවන බලලෝභීන්ව හෙළිදරව් කළ යුතුයි

  👤  2999 readers have read this article !
By mawbima 2018-09-25

සිත මූලික කරගෙන සියල්ල සිදු වන නිසා සිතිවිලි වෙනස් කර නොගත්තොත් සියලු දෙනාම ඒකරාශී කරන්නා වූ ශ්‍රී ලංකාව යනු අභියෝගයක් පමණක් යැයි කථානායක දේශබන්දු කරු ජයසූරිය ප්‍රකාශ කෙළේය.

හෙතෙම එසේ ප්‍රකාශ කළේ හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකාර් මහතාගේ 21 වැනි ගුණ සැමරුම් උත්සවයේ මූලික දේශනය සිදු කරමින්ය. ජාතික සංහිඳියාව සඳහා වූ බාකීර් මාකාර් මධ්‍යස්ථානය පසුගියදා පදනම් ආයතනයේදී එම උත්සවය සංවිධාන කොට තිබිණි. එහිදී කරු ජයසූරිය මෙසේ ද පැවැසීය.

සමාජය වෙනස් කරන්නට අෑත අතීතයේ සිටම අපගේ ශාස්තෘවරුන්, දාර්ශනිකයන් දැරූ ප්‍රයත්නයන් අපට පරමාදර්ශ ලෙස එකතු වී තිබෙනවා. මෑත කාලීන ඉතිහාසයේ මහත්මා ගාන්ධි, මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් පෙන්වා දුන් ආදර්ශත් මෙවැනි වෑයමකට පූර්වාදර්ශ රැසක් සපයනවා. වාර්ගිකත්වයට එරෙහි සමාජ සාධාරණත්වය උදෙසා කැපවුණු ලෝකයේ ආදර්ශවත් චරිත පිළිබඳ කතිකාවන් ක්‍රියාත්මක කිරීම තුළින් සමාජයේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට පදනමක් සැකසිය යුතුයි.

වර්තමානයේ භෞතික අපේක්ෂාවන් පෙරදැරි කරගත් සමාජයක සිත් සැකසීම අවශ්‍ය වන්නේ ඇයි? ඒ අප සියලු දෙනාම මිනිසුන් වන නිසායි. ජාතිය, ආගම කුල ගොත කුමක් වුවත් අප සැමදෙනාම මිනිසුන් ලෙස ජීව විද්‍යාත්මකව බැඳී සිටිනවා. මෙය අවබෝධ කරගැනීම ඉතා වැදගත්. වර්තමාන ලෝකයේ අප දකින කනගාටුදායක තත්ත්වයන් බොහෝ විට අත්විඳින්නේ මේ සත්‍යයට පිටුපා කටයුතු කරන නිසායි. එක් අයකු තවත් අයකු අභිභවා යෑමට පෙන්වා දෙන හේතු ඉතාමත් ඛේදනීය ලෙස සලකන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ යුද්ධය ආරම්භවීමට හේතු විග්‍රහ කිරීම ඉතාමත් සංකීර්ණය ක්‍රියාවක්. නමුත් සරලව කියන්නේ නම් අපට සියල්ලෝම ඒකාරාශී කරගත හැකි සමාජ දේශපාලන දර්ශනයක් ගොඩනඟා ගැසීමට නොහැකි වීම එයට ප්‍රධාන හේතුවක්. අපට නිදහස උරුම කරදුන් නිදහස් ශ්‍රී ලංකාවේ ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රථම නිදහස් දින ජාතිය අමතමින් සිංහල වේවා, දෙමළ, මරක්කල්, යුරේෂියන් වේවා අදින් පසු ශ්‍රී ලාංකික විය යුතු බව එතුමා අවධාරණය කළා. ඒත් අවාසනාවකට එම පාඩම කියවා ගන්නට අප අසමත් වී සිටිනවා.

බලය දේශපාලන මුල්කරගත් ව්‍යාපෘතියක් තුළින් සියල්ලන් එකතු කිරීම පසෙකලා ජයග්‍රාහකයන් සහ පරාජිතයන් ලෙස සමාජය තුළ බෙදීම් තේමාවක් නිර්මාණය වෙලා. ඒ තියා ජාත්‍යන්තරය තුළ අප හුදෙකලා වූවා පමණක් නොව ජාත්‍යන්තර බලපෑම්වලට පවා යටත්වීමට සිදු වුණා.

2015ට පෙර මේ පිළිබඳව කටයුතු කළ ආකාරය ඉතාමත් කනගාටුදායකයි. අවසානයේ අප ළඟා වී සිටියේ ආර්ථික සම්බාධක, විදෙස් ගමන් තහංචි වැනි තීරණ පවා ගන්නා ස්ථානයකයි. දේශප්‍රේමී හෝ දේශද්‍රෝහී වැනි වචන තුළින් මෙවැනි සංකීර්ණ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට හැකියාවක් නැහැ.

යුද්ධයකදී ජීවිත හානි සිදුවීම ස්වාභාවිකයි. නමුත් එයට මුවා වී අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් අත්අඩංගුවට පත්වූවන් ඝාතනය කිරීම් සිදුවන්නේ නම් එය පිළිගත් යුද්ධයක ක්‍රමවේදයකට පටහැණියි.

දියාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, විපතට පත්වූවන් සඳහා පිළිසරණයට යෝජිත හානි පූර්ණය පිළිබඳ වූ කාර්යාලය, සත්‍ය සෙවීම, වගවීම් ක්‍රියාවලිය පිළිබඳ නිරවුල්ව ජනතාව දැනුවත් කිරීම වැදගත්, මේ ක්‍රියාවලිය පිළිබඳ බලලෝභී දේශපාලනය විසින් මවන, ගෝනිබිල්ලන් නිරාවරණය කිරීමට විශාල වැඩ කොටසක් තිබෙනවා.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon