මේ රටේ පාලකයන්ගේ ප්‍රතිපත්තිය වන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැතිකමයි-අමාත්‍යාංශ හිටපු ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර

  👤  2945 readers have read this article !
By mawbima 2018-09-25

මේ රටේ තිබෙන බරපතළම, වැදගත්ම ප්‍රතිපත්තිය කිසිම දේකට ප්‍රතිපත්තියක් නැතිකමයි. ප්‍රතිපත්තියක් හදාගත්තොත් ඒක කොහෙත්ම ලංකාවට ගැළපෙන්නෙ නැති එකක්. රටේ ජනතාවට ගැළපෙන්නේ නැති එකක් යැයි සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ ඒ.පී.ඒ. ගුණසේකර මහතා පැවැසීය.

ජාතික විද්වත් සංවිධානයේ කළුතර දිසා සමුළුව පසුගිය 22දා කළුතර නගර ශාලාවේදී පැවැති අතර එම රැස්වීම අමතා ඒ.පී.ඒ. ගුණසේකර මහතා මෙසේද කීවේය.

එක්දහස් නවසිය පනස් ගණන්වල ඇති කර ගත්ත අපේ භාෂා ප්‍රතිපත්තිය ගත්තම අපට ගැළපෙනවද? ඒක නිසා අදත් විඳවනවා. හෙටත් ඒ නිසා විඳවනවා. මේක නිසා වසර තිස් ගණනක යුද්ධයකට පැටලුණා. ඊට පස්සේ ශ්‍රී ලාංකිකයන් භේද භින්න වුණා. මරාගත්තා. මගේ සහෝදරයත් ඒ යුද්දෙන් මැරුණා. ඒ දුකට අඬල අම්මත් තාත්තත් කෙටි කාලයකදී මැරිලා ගියා. මේ ඛේදනීය මට පමණක් නොව රට පුරා මිනිසුන්ට මේ අත්දැකීම් තිබෙනවා.
ජපානය ගත්තම මොන පක්ෂයක් බලයට ආවත් කැබිනට් මණ්ඩලය පත්කරන්නේ ඒ ව්‍යවස්ථාව අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇමැති මණ්ඩලය සඳහන් කර තිබෙනවා. ඒකෙ තියෙන්නේ අමාත්‍යාංශ 14ක් පමණයි.
ඊට අමතර ඒජන්සිස් නවයක් තියෙනවා. ඒ ප්‍රමාණයත් අඩු කරන්නෙ කොහොමද කියලා ඔවුන් අද සමීක්ෂණ කරනවා. එහෙමනම් ජපානය දියුණු වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
අපේ අමාත්‍ය මණ්ඩලය පත්කරන්න ප්‍රතිපත්තියක් තියෙනවාද? අපි කුඩා කාලෙ ඩී.එස්. සේනානායක මහත්තයාගේ ඇමැති මණ්ඩලය දහදෙනයි. නැත්නම් එකොළහයි. බණ්ඩාරනායක මැතිනියගේ, ඩඩ්ලි සේනානායක මහත්තයාගේ, ජෝන් කොතලාවල, දහනායක මේ සියල්ලන්ගෙ ඇමැති මණ්ඩල 14 ඉක්මවල ගියේ නැහැ.

එහෙත් අද ඇමැති මණ්ඩලය පත්කරන්නෙ ප්‍රතිපත්තියක් අනුවද? අද ඇමැති මණ්ඩලය පත් කරනවා. හෙට කවුරු හරි අනෙක් පැත්තට පනිනව නම් එයාට අලුත් ඇමැතිකමක් දෙනවා.
මහජනයා අතට ඉඩම් ඔප්පු දෙනවා. සුද්දගෙ කාලෙ හදපු ඉඩම් පනත් දෙකක් තියෙනවා. රජයේ ඉඩම් ආඥාපනත සහ ඉඩම් සංවර්ධන ආඥාපනතයි. මහජනතාවට වැඩිපුරම ඔප්පු දෙන්නෙ මේ දෙකෙනුයි. මොන ආණ්ඩු ආවත් ඔප්පු දෙන්නෙ මේ පනත් දෙක අනුවයි. හැබැයි ආණ්ඩු ආවම කවරයක් ගහනවා සංවර්ධන චිත්‍ර දාලා ජයභූමි කියලා. හැබැයි ඇතුළෙ තියෙන්නෙ අර සුද්දගෙ පනතමයි. තව එකක් ආවම ස්වර්ණ භූමි කියල කවරෙ ගහනවා.
මහජනයාත් හරි සතුටින් අරගෙන යනවා. ජනතාව හිතනවා මේක වෙනස් වෙලා කියලා. නමුත් හැම වෙලාවෙම සිදු වෙන්නෙ ඇස් රවටන දේමයි.

2001දී රටේ ජනාධිපති ධුරය දරපු මනුස්සයගෙ පුතා පශු වෛද්‍ය විද්‍යාව කරන්න පටන් ගත්තා. රටේ මුල් පුටුව වනජීවී දෙපාර්තමේන්තුවයි සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවයි පවරා ගත්තා. මගේ නිලධාරීන් සමඟ එන්න කියල සාකච්ඡාවකට මම එතුමා ළඟට ගියා. අලි - මිනිස් ගැටුම වළක්වන්න සිදු කර තිබෙන සැලැසුම් මොනවද කියල ඇහුවා. ඒ සම්බන්ධව ප්‍රතිපත්තියක් හදල සැලැස්මක් තියෙනවා අංක 7ක් තියෙනවා කිව්වා. කියල මම ඒ අංක හත විස්තර කරලා දුන්නා. මම ඒක පැහැදිලි කළ ගමන්ම රටේ ඉහළම පුටුවෙ ඉන්න මේ මනුස්සය නැඟිටල අත් දෙක වැළමිටෙන් නවල එක ළඟ තියල පෙන්වල කියනවා. අපේ තාත්තා ඉන්න කාලෙ ඉඳලා මම යාල ගිහිල්ල තියෙනවා. හොඳට අලි-මිනිස් ගැටුම ගැන දන්නවා. ඔය විදුලි වැටවල් ගහල අලිය ගමට එන එක නතර කරන්න බැහැ. මෙන්න මේ වගේ ළඟින් ළඟින් ලොකු ගස් හිටුවන්න කියල කිව්වා. එදා මගෙත් එක්ක සහභාගි වූ නිලධාරීන් තාම ඉන්නවා. මම කියන්නෙ සත්‍යමයි.

මම මේ පෙන්වා දුන්නේ ප්‍රතිපත්ති හදන්න තියෙන අමාරුව සහ හදාගත්තත් ක්‍රියාත්මක කරන්න තියෙන අමාරුවයි.

අපේ මුහුදෙ ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් තියෙනවා. මම ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්ව සිටියදී මේ ගැන සමීක්ෂණ කළා. ඒ දත්ත තිබුණෙ ඕස්ට්‍රේලියන් සමාගමකයි. ඒක අපේ රටට ගත්තා. හොඳටම පැහැදිලිව ස්වාභාවික ගෑස් සහ ඛනිජ තෙල් තිබෙනවා. 2012 වෙනකොට අපට මේ ස්වාභාවික සම්පත් ගැනීමට හැකියාව තිබුණා. හෙජින් ගිවිසුම කරන කොට අමාත්‍යාංශ ලේකම් මම. එක අකුරක් ඔය ගිවිසුමට පක්ෂව ලියල නැහැ. මම සෑම අකුරක්ම ලිව්වේ මේකට විරුද්ධවයි. මේ වරද කළ අයට දඬුවම් කරයි කියලා මම සතුටු වුණා. හොරු අල්ලන්න කියන එකයි ආවට පසු අල්ලන්නෙ නැති එකයි ඒකත් අපේ රටේ ප්‍රතිපත්තියක් වෙලා. හොරුන්ට දඬුවම් කරනවා කියනවා. ආවට පසු එහෙම එකක් කිව්වද කියල දන්නෙ නැහැ. ඒකත් ප්‍රතිපත්තියක් වෙලා.

රාජ්‍ය සම්මානලාභී ලේඛක සාහිත්‍යවේදී බටුවන්ගල රාහුල හිමි
පුද්ගල ප්‍රතිරූපයට ආදරය කරන පුද්ගලවාදී නායකත්වයකට ළෙන්ගතුකමක් දක්වන යුගයක අපි තාමත් ජීවත් වෙනවා. නමුත් රටක් ලෙස අපට අවශ්‍ය පුද්ගලවාදය අභිභවා ගිය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් බව අප අවබෝධ කර ගත යුතුයි. පුද්ගලයන්ට වඩා ප්‍රතිපත්තිවලට ආදරය කරන සමාජයක් නිර්මාණය කළ යුතුයි.

ඒ නිසා ප්‍රතිපත්තිවලට ගරු කරන මිනිස්සු නැත්නම් එහෙම මිනිස්සු නිර්මාණය කරගත යුතු වෙනවා. අධ්‍යාපනය තුළ ආර්ථිකය තුළ විශාල ගැටලු ගොඩක් තිබෙනවා. කලාව, සාහිත්‍ය තුළ මහ ගැටලු ගොඩක් තිබෙනවා. රටකට ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගන එය දේශපාලන බලවේගයක් ලවා ක්‍රියාත්මක කරවා ගත යුතු වෙනවා.

ඒ නිසා මේ සඳහා තිබිය යුත්තේ සියලු බලවේග එකට එකතු කරන හැඟීමකුයි.

කළුතර සහ කොළඹ හිටපු මහ දිසාපති එස්. හපුආරච්චි මහතා
අපේ රටේ මාර්ග නීති පිළිබඳ ප්‍රතිපත්ති ගත්තත්, නීතිය ගත්තත් කිසිම ගරු කිරීමක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. අපේ රටේ මාර්ගයේ පදික මාරුව පාවිච්චි කරන්නෙ උන්මන්තකාරයො වගෙයි. රියැදුරෝ ඊට හපන්. ජපානය වගේ රටවල නීති දේවභාෂිතයක් වගෙයි සලකන්නෙ. නීතිගරුකයි. ලෝකෙ බොහෝ රටවල් නීතිගරුකයි. ඒ රටවල නීති කැඩුවම දඩත් වැඩියි. එහෙම නීති කඩල අපේ දඩ කොළ දුන්නම පිකටින්, වර්ජන කරනවා. අපි නීතිගරුක විය යුතුයි. නීතිරීති නැත්නම් පිස්සො ටිකක් වගේ වෙනවා.

මේ සමුළුව අමතා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් කතා කළේය.

මතුගම - වසන්ත කුමාර
පයාගල - සුජිත් මාරියෝ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon