ලෝකයේ මුදල් අවප්‍රමාණය වී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ තීන්දුවක් නිසයි

  👤  2945 readers have read this article !
By mawbima 2018-09-25

ඩොලරය වැඩිවීම සහ රුපියල අවප්‍රමාණ වීම පිළිබඳ මේ දිනවල වැඩිපුර කතා වුණත් එය ජාත්‍යන්තර තත්ත්වයක් මිස මේ රටේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත් හුදෙක් එය ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මත ලෝකයේම මේ තත්ත්වය ඇති වී තිබෙන බවත් අපේ රටෙත් මේ සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 'වැව් දහසයි ගම් දහසයි' වැඩසටහන යටතේ අම්බලන්තොට නෝනාගම වැව සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පැවැසීය.

අපි දිනපතා නැව්වලින් ගෙනඑන අත්‍යවශ්‍ය නොවන බඩු සීමා කරන්න ඕන. අපේ රටේ නිපදවිය හැකි පොත, පෑන,පැන්සල, ලිපි කවර, සෙල්ලම් බඩු අපි රටින් ගේනවා. මේවට යන්නේ ඩොලර්. අපි කෙටි කාලීනව මේවා අපේ රට තුළ නිෂ්පාදනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන. පිටරටින් ගේන ඒවා සීමා කරන්න ඕන. පාරවල්වල වාහන තදබදය වැඩියි. මාසෙකට වාහන ගෙන්වීම තිස්තුන් දාහයි හතළිස් දාහයි.

මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය හොඳ නැත්නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නෙ කොහොමද?

කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ අපි හරියට කටයුතු කළොත් අපිට ඩොලරය පාලනය කරගෙන මේ රට දියුණු කරගන්න ලැබෙනවා. අද මේ රටේ සියලු දේ රටින් ගෙන්වන තැනට පත්වෙලා. ලංකාවෙ ඕන තැනක ඕන දෙයක් වවන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට ඕන හරි මිලක්, හරි වැඩපිළිවෙළක්. අපේ ගොයම් කැපෙන කොට හාල් නැව ගෙනැල්ලා බාන එක නෙවෙයි අපේ ගොවියා බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ගේ නිෂ්පාදනවලට හොඳ මිලක්, සත්ත්ව හානියට හොඳ විසඳුමක්, වගාවන්ගේ ආරක්ෂාවට හොඳ වැඩපිළිවෙළක් ලබා දීම අවශ්‍යයි.

අපි සැකසූ වැඩපිළිවෙළ අනුව ගියොත් 2025 වන විට රටින් ආහාර ගෙන්වීමේ අවශ්‍යතාවක් නෑ. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න අපි සූදානම් කරලා තියෙනවා.

නිවාස, සනීපාරක්ෂක පහසුකම්, යටිතල පහසුකම්, සම්පූර්ණ වූ ගමක් නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මෙම ව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලය තමයි දරුවන්ට ජීවත්වෙන්න පුළුවන් හොඳ පරිසරයක් ගොඩනැඟීම. ඒකට නිලධාරීන් පමණක් උනන්දු වුණාට වැඩක් නෑ. ගමේ ජනතාව උනන්දු වුණු තරමට තමයි එහි සාර්ථකත්වයක් ඇති වෙන්නෙ.

පසුගිය කාලේ දේශපාලන රැස්වීම්වල කිව්වා පාරක් හදන්නෙ නෑ. අඩුම තරමේ පාරට බොරලු ටිකක්වත් දාන්නේ නෑ කියලා. ඔන්න දැන් බොරලු දානවා විතරක් නොවේ පාර කාපට් කරලයි වැඩ අවසන් කරන්නේ. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, කෘෂි ව්‍යාපෘති, වාරි ව්‍යාපෘති දිනපතා ක්‍රියාත්මක වෙන බව ඔබට පේනවා. මේවා මාධ්‍යවල නොගියත් දැන් මිනිස්සුන්ට ඒවා දැනෙන්න පටන් අරගෙන තියෙනවා.
ඒ නිසා මීට පස්සෙ දේශපාලනඥයන්ට ඒ පරණ සටන්පාඨ මාකට් කරන්න බැරි වෙන එක නම් ස්ථිරයි.

මෑත කාලයේ ලොකු කතාබහක් තියෙනවා ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කරන්න යොදපු කුමන්ත්‍රණයක් පිළිබඳව.

ජනාධිපතිවරයෙක් ඝාතනය කරන්න සාමාන්‍ය මිනිහෙක් කතා කළා නම් මේ වන විට සී.අයි.ඩී. එකට ගෙනිහිල්ලා දස වධ දෙනවා වෙන්න පුළුවන්. ඉස්සර කාලේ නම් ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. මගේ මතය නම් අත්අඩංගුවට ගැනීමේ දීර්ඝව පරීක්ෂණ කිරීම් සිදු කරමින් මේ ගැටලුවලට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වුණු අය සොයාගෙන ඒ අය වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon