ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන මේ වනතුරු පියවරක් ගෙන නෑ-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

  👤  2971 readers have read this article !
By mawbima 2018-09-25

තංගල්ල - සහම්පති මානගේ

පොලිසියට අයත් ස්නයිපර් අවි අතුරුදන් වූයේ නම් එය ඉමහත් ගැටලුවක් බවද ජනපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වන තුරු ගෙන නොමැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ පැවැසූයේ ඊයේ (24දා) තංගල්ල කාල්ටන් නිවෙසේදී පැවැති 180 වැනි පොහෝ දින ධර්ම දේශනා වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසුවේය.

පොලිසිය වගේ ආයතනවලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ගැටලුවක්. මේවා කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ? එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මෙහෙන් තර්ජන. කාව මරන්න මේවා ගන්නවාද කියලා අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මරන්න කියලා කුමන්ත්‍රණය කරපු කටහඬවල් ඔක්කොම තියෙද්දී ඒ අයට මුකුත් කරන්නේ නෑ. කාටද කියන්නේ අපි මේවා.
ඇත්ත වශයෙන්ම මේ අය කළමනාකරණයක් කරන්නේ නැහැ. ලංකා බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු රජය වහාම මැදිහත් වෙලා යම් පියවරක් ගන්න ඕන.

ඒක ඔහේ පාවෙන්න ඉඩ ඇරලා තියලා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ම කියනකොට තව තවත් ඩොලරයේ අගය ඉහළ යනවා කියලා මේක නතර කරගන්න පුළුවන්කමක් නැහැ. අපේ කාලයෙත් මීට වඩා අමාරු කාලයක් රටේ තිබුණා. යුද්ධය තියෙන වෙලාවෙදි. 2007 ඉඳලා 2012 වෙනකල් ආසියානු රටවල ආර්ථිකය මහා කඩාවැටීමක් වුණා. නමුත් අපි එය කඩාවැටීමට ඉඩ නොදී තියාගෙන හිටියා. අපිට පුළුවන්කම තියෙනවා නම් මෙයාලාටත් පුළුවන්කම තියෙන්න ඕන. මෙයාලා වෙන වෙන දේවල්වලට හිත යොමු කරලා තියෙන නිසා පළිගැනීම් හැර වෙන දෙයක් ගැන හිතන්නේ නැති නිසා, ඒ අයට වේලාවක් නැහැ මේ ගැන හොයන්න. බොරු කතා කර කර යනවා ණය වැඩියි, ණය වැඩියි කිය කියා.

ඩොලර් එක ඉහළ ගියා කියන එක ආර්ථිකයට බලපාන්නේ නැත්තේ නැහැ. බලපාන්නේ නැති හැටි පේනවනේ මිනිස්සුන්ට. දැන් ඇයි කාර්වල මිල හිටපු ගමන් වැඩි වුණේ. පිටරටින් ගේන හැම භාණ්ඩයකටම මිල රුපියල්වලින් වැඩියෙන් ගෙවන්න ඕනනේ දැන්. එතකොට මොකක්ද තත්ත්වය? අපි දැන් හාල්, පරිප්පු, සීනි ඔය හැම එකක්ම ගෙන්වනවා. වගා කරන්නේ නෑනේ. අපේ කාලේ නම් ඔය සමහර ඒවා ගෙන්නුවේ නෑ. සීනි කර්මාන්තශාලා දෙකක සීනි ගොඩගහගෙන තියාගෙන ඉන්නවා. ඒවා එළියට දාන්නෙත් නෑ.

දකුණේ විතරක් නෙවෙයි දැන් මුළු රටේම පාතාලය හිස ඔසවලා තියෙනවා. උතුරේ ඊටත් වඩා දරුණු විදියට හිස ඔසවලා තියෙන්නේ. උතුරේ ආවා කල්ලිය මර්දනය කරන්න කියනවා. පොලිසියේ වගකීමක් ඒක. ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕන. දවස ගානේ මිනී මරනවනේ. අපේ කාලයේ මේවා මර්දනය වුණා. දැන් ආයෙමත් ඇවිල්ලා. රජයට මේවා පාලනය කරන්න බැහැ. ඒකයි තත්ත්වය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon