කිරිඳිවැල කසළ කළමනාකරණ මධ්‍යස්ථානය තවමත් ප්‍රා.සභාවට පැවරීමට පියවර ගෙන නෑ-‍ෙදාම්පේ ප්‍රා. සභාවේ ලේකම් උපුලි මද්දුමගේ සාක්කි දෙයි

  👤  2868 readers have read this article !
By mawbima 2018-09-25

කිරිඳිවැල - ඩී.කේ.ඩී. රණවීර

කිරිඳිවැල මාලිගාවත්ත ඒකාබද්ධ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා මධ්‍යම පරිසර අධිකාරියත් ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවත් ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව එම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කොට වසරකින් පසුව සභාවට පැවරිය යුතුව තිබුණත් මේ දක්වාම පවරා දීමට පියවර ගෙන නැතැයි ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවේ ලේකම් උපුලි මද්දුමගේ මහත්මිය පූගොඩ අධිකරණයේදී පැවැසුවාය.

2015 වසරේදී එම මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කොට 2016 වසරේදී එය සභාවට භාරදීමට ගිවිසුමට අනුව නියමිතව තිබූ බවද ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය.

පූගොඩ මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී කිරිඳිවැල පොලිසියේ කොස්තාපල් ලක්ෂාන්ත (33364) මහතාගේ මෙහෙයවීම මත වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්කි දුන් උපුලි මද්දුමගේ මහත්මිය මෙසේ කීවාය.

‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස 2011 වසරේදී වැඩ භාරගත්තා. මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ගැන දන්නවා. 2017 වසරේදී කොළඹ ප්‍රදේශයේ කසළ එම මධ්‍යස්ථානයට ගෙන එන බව දැනගත්තා. ඒ සම්බන්ධ ආරවුලක් නිසා නඩුව පවරා තිබෙන බවත් දන්නවා. සභාව දැනුම්වත් කිරීමක් නැහැ. නමුත් පිටස්තර කසළ ගෙන එනවා.

එම මධ්‍යස්ථානය වසරකින් පසුව සභාවට පවරා නොදීම සම්බන්ධව නඩු පැවරීමක් කර නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සභාවට පවරා දී නැති නිසා පිටස්තර ක්‍රියාකාරකම් සම්බන්ධව ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ නැහැ. සභාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වුවත් ගිවිසුම් ප්‍රකාරව භාරදීමක් කර නැහැ. ගිවිසුම් කඩ කිරීම ගැන මධ්‍යම පරිසර අධිකාරියට එරෙහිව නඩු පැවරීමට තීරණය කොට තිබෙනවා. මෙය විධිමත්ව සකස්කළ කසළ අංගණයක්. 2015 දී විවෘත කර කොරියානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ බව දන්නවා. කමිටුවක් පත්කර ගැටලු සමථයකට පත්කර ගන්න තීරණයක් කර තිබෙනවා. ඒ සඳහා පරිසර අධිකාරියත්, පාලන අධිකාරියත් සම්බන්ධ කර ගන්නවා. එම මධ්‍යස්ථානය විවෘත කර මාස තුනක් ගතවීමත් සමඟ සභාව විසුරුවා හැරියා. සභාව යළිත් පටන් ගත්තේ වසර තුනකට පසුව 2018 වසරේදීයි. ප්‍රාදේශීය සභාවේ බලධාරියා ලෙස එම වසර තුනක කාලයේ මා වැඩ කළා.

මෙහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥ පියසේන කාරියප්පෙරුම මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් උපුලි මද්දුමගේ මහත්මිය මෙසේද පැවැසුවාය.

වසර 07ක කාලයක සිට ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභා ලේකම් ලෙස කටයුතු කරනවා. මහරගම නගර සභාවේ පරිපාලන නිලධාරිනිය ලෙස කටයුතු කළා. පළාත් පාලන සේවාවේ වසර 19ක පළපුරුද්දක් මට තිබෙනවා. ප්‍රාදේශීය සභාව අවිධිමත් ලෙස කසළ බැහැර කරන බවට තිත්තපත්තර ප්‍රදේශයේ අයකු සභාවට එරෙහිව පැවරූ නඩුවකට අනුවයි. අධිකරණ නියෝග මත මධ්‍යම පරිසර අධිකාරිය සමඟ ගිවිසුම් ගතවෙන ලෙස නියෝගයක් තිබෙන බව දන්නවා. එම නඩුවට අනුව ‍ෙදාම්පේ කොට්ඨාසයේ දිනපතා ජනනය වන කසළ පමණක් ඉහත කී ව්‍යාපෘතියට යොදා ගන්නා ලෙස අලුත් වගන්තියක් ගිවිසුමට කෙටුම්පත් කර තිබෙනවා.

2016 වසරේදී ගිවිසුමට කඩවුණ විරෝධතා වරින්වර පැමිණි දුගඳ හමනවා කියලා. සභාවට විරෝධතා ආවේ නැහැ. පිටස්තරයන් කසළ රැගෙන ආවා කියා දන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාවේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ඒ.බී. ඉලංගසිංහ මහතාගේ 2016-06-13 දිනැති ලිපියක් මඟින් පිටස්තර කසළ භාරගන්නා ලෙසට වූ ලිපිය අනුවයි දැනගත්තේ. 2017 වසරේදී ‍ෙදාම්පේ ප්‍රදේශයේ කර්මාන්ත ආයතන සමඟ පරිසර අධිකාරිය පිටස්තර කසළ භාර ගැනීම සම්බන්ධව ගිවිසුම් ඇති කරගෙන නැහැ.

මහජන විරෝධයක් ගැන පසුව දැනගන්න ලැබුණා. කොළඹ නගර සභාවෙන් කසළ ගේනවා කියා කිසිම උපදෙසක් සභාවට ලැබුණේ නැහැ. ඡායාරූප ශිල්පි රුවන් ජයදේව මහතාද මෙහිදී සාක්කි දුන්නේය. වැඩිදුර විභාගය නොවැම්බර් 26 දිනට කල් තැබිණි. විරෝධතා දැක්වීමට එරෙහිව අධිකරණය පනවා තිබුණු අතුරු තහනම් ආඥාව එදින දක්වා දීර්ඝ කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon