තනි කකුලින් ජීවිතය දිනන බෝම්බ සෙල්වා

  👤  2996 readers have read this article !
By mawbima 2018-09-25

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය - මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවට මඳක් දුරින් වන්නට පිහිටි පුලියන්කුලමේදී අපිට අපූරු මිනිසකු හමුවිය. ඒ කන්දප්පු සෙල්වනායගම්ය. වයස අවුරුදු හැත්තෑ තුනක් වූ මොහු නමින් සෙල්වනායගම් වුවත් ඔහු දන්නා හඳුනන සෑම අයකුම ඔහුට කතා කරන්නේ "බෝම්බ සෙල්වා" යනුවෙනි. සෙල්වාට මේ නම වැටී තිබෙන්නේ ඔහු කාටවත් බෝම්බ ගැසීමට ගිය කෙනකු නිසා නොවේ.

යුද සමයේදී උතුරේ වැසියන් සියලු දෙනාගේ ජීවිත මුලතිව් දිස්ත්‍රික්කයේ ඉතා කුඩා බිම්කඩකට සීමා වෙද්දී සෙල්වාටත් සෙල්වාගේ පවුලටත් ඒ ඉරණමම අත්විය.

යුද වැදුණු පිරිස එකිනෙකා පරයමින් කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ දෙපැත්තට හුවමාරු කරගනිද්දී සෙල්වාගේ නිවෙස අසලම කාලතුවක්කු උණ්ඩයක් පිපිරී යෑමෙන් ඔහුගේ දකුණු කකුල ඔහුට අහිමි විය. වම් පාදයේ තැන් දෙකක්ද දෙපොළකින් කැඩී ගියේය. කාලතුවක්කු උණ්ඩ කැබලි හතරක් සෙල්වාගේ ඇඟේ තැනින් තැන ඇත්තේය.

"එක කකුලක් කපලම දැම්මා. අනිත් කකුල නම් සනීප වුණා. ඒත් ඒක තැන් දෙකකින්ම කැඩිලා ඉඳලා හිටලා කකියනවා. ඇඟ ඇතුළේ තියෙන කාලතුවක්කු උණ්ඩ කෑලි හතර ගන්න විදිහක් නෑ. එතකොටත් මට ගොඩක් වයස හන්දා ඔපරේෂන් කරන්න බෑ සිහිය එන්නේ නැතිවෙයි කියලා ‍ෙදාස්තර මහත්තුරු කිව්වා. දැන් ඉතින් යකඩ කෑලි හතරකුත් ඇඟේ තියාගෙන ජීවත් වෙනවා.

සමහර කාලෙට ඒ තැන් ඉදිමෙනවා. වේදනාව දැනෙනවා. එතකොට වවුනියාව ඉස්පිරිතාලෙට ගිහින් ඇතුළත් වෙනවා. එතකොට වෙන්නේ හුස්ම ගන්න බැරිවෙන එකයි. මොනව කරන්නද මහත්තයා, ජීවිතේ බේරුණානේ. ඒ ඇති."

සෙල්වාට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති රෝද තුනේ බයිසිකලයෙන් ඔහු ඒ නවය මාර්ගයේ යන නොයන තැනක් නොමැත. වෙනත් අය මේ තරමට ආබාධිත තත්ත්වයට පත්වූ විට කරන්නේ අනුන්ට අත පෑමයි.

ඒත් "බෝම්බ සෙල්වාගේ" කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.

පුලියන්කුලම විද්‍යාලයට නුදුරින් පුංචි තේ කඩයක් තිබේ. ඉතාම වයසක දෙපළක් විසින් පවත්වාගෙන යන මේ තේ කඩයේ පිට්ටු කෑමට තිබේ. විශ්වලිංගම් අයියාගේ ඒ පිට්ටු කඩේ දී විෂූ අයියා "බෝම්බ සෙල්වා" ගැන කතා කළේ මහත් ආඩම්බරයෙනි.

"ඔය මනුස්සයා ආවේ මේ කඩේ පොල්කටුයි හිස් සැමන් ටින් ටිකයි අරන් යන්න. බෝම්බෙට අහුවෙලා කකුල නෑ කියලා මිනිහා නිකන් ඉන්නේ නෑ. ඉදල් හදලා විකුණන එක තමයි එයා කරන්නේ.
කවුරුවත් නිකන් දෙන දෙයක් ගන්නේ නෑ. නිකන් දෙන දෙයක් කන්නෙත් නෑ. කවුරුහරි එයාට අපේ කඩෙන් තේ අරන් දුන්නොත් ඒකෙ ගාණ එයාම ගෙවනවා. මහ පුදුම මනුස්සයෙක්.
ඔය බයිසිකලේ ඉදල් බැඳගෙන ගමක් ගමක් ගාණේ යනවා. සෙල්වා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. මේ මිනිහා නොදන්නා කෙනෙක් නෑ. ඒ තරමටම ප්‍රසිද්ධයි. බෝම්බ සෙල්වා කිව්වම හැම කෙනාම දන්නවා."
බෝම්බ සෙල්වා අප සමඟ මෙසේද කීවේය.

"මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම කසාද බැඳලා. මමයි පවුලයි තමයි ජීවත් වෙන්නේ. අපිට ආණ්ඩුවෙන් හම්බවුණු ගෙදරක් තියෙනවා. ඒ අපි යුද්දෙන් අනාථ වුණු නිසයි. මුලින්ම මම ලොරියක සහායකයෙක් විදිහට රස්සාව කළා. ටික කාලයක් මේක කරනකොට මට හලාවත යාළුවෙක් හම්බ වෙලා එයා කිව්වා රස්සාවක් හොයල දෙන්නම් කියලා. මම හලාවත පොල්වත්තක මුරට ආවේ එහෙමයි. ටික කාලෙකදි පවුලේ සේරම අයත් එක්ක හලාවත පොල්වත්තට ඇවිත් මුර ගෙදර ජීවත් වුණා.

අපි ඔක්කොටම සිංහල පුළුවන්. ඔහොම ඉන්නකොට 83 ජූලි කලබල නිසා ඒ පළාතම දාලා ආයෙත් මේ පුලියන්කුලමටම එන්න වුණා. එතනදි අවස්ථා හතරක්ම යුද්දෙට අහු වුණා. දැන් පණ බේරිලා ඉන්නවා.
මේ ඉදල් හදන්නේ මමයි මගෙ පවුලයි. අපි දෙන්නම හලාවත හිටපු කාලෙත් මේ වගේ දේවල් කළා. පවුල ගිහින් පොල් අතු හොයලා ඉරටු බේරගෙන ගෙදරට ගේනවා. මම හිස් ටින් පොල්කටු එකතු කරන්න යනවා. ගිහින් ඉදල් හදනවා. මේ ඉදලක් මම විකුණන්නේ රුපියල් එකසිය අසූවකටයි. කඩේ ඉදල් වගේ නෙමෙයි හොඳට හයිය තියෙන නිසා මිනිස්සු ගන්නවා.

ඉදලක් රුපියල් එකසිය අසූවකට මම වික්කත් මගේ නැති බැරිකමත් ආබාධිත තත්ත්වයත් බලලා ගොඩක් අය මට රුපියල් දෙසීයක්ම දෙනවා. ඒත් මට හිතෙනවා ඒක අසාධාරණයි කියලා. මොකද ඉදලේ ගාණ රුපියල් එකසිය අසූවයි නේ. කොහොම හරි දැන් හැමදේම ගණන් නිසා මමත් හිතුවා ඉදලක් රුපියල් දෙසීයටම විකුණන්න. එතකොට ඒ ප්‍රශ්නෙත් හරිනේ.
මම උදේම ගෙදරින් එනවා. ඉදල් ටික මේ බයිසිකලේ බැඳලා දෙන්නෙ මගේ පවුල. මම ඇවිදිනවා. මොනව වුණත් මම දවල්ට කන්න ගෙදරට යනවා. මට දැන් වයස හැත්තෑතුනයි. ඒත් අපි දෙන්නා බොහොම විනෝදෙන් ජීවත් වෙනවා.

මේ ඉදල් රස්සාවට අමතරව සමාජ සේවා එකෙන් මාසෙකට ගාණක් ලැබෙනවා. සමෘද්ධි ආධාරත් ලැබෙනවා. ළමයිනුත් උදවු කරනවා. අහේනියක් නෑ. කාලා බීලා හොඳින් ඉන්නවා. ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙත් අනුන්ට කරදරයක් නැතුව හොඳින් ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ."

ඉතාම සැහැල්ලුවෙන් මේ දේවල් කිව්ව සෙල්වා රෝද තුනේ බයිසිකලය පදවන ලීවරයට දකුණු අත බර කරමින් ඒ නවය මාර්ගය ඔස්සේ ඉදියට ඇදී ගියේ ලියන්නට නොව අද සමාජයට හිතන්නට බොහෝ දේ එකතු කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon