පොලිස්පති ඉවත් කිරීම එජාපයේ බහුතර මතයයි

  👤  3089 readers have read this article !
By mawbima 2018-09-24

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහගත තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර යම් මතභේදයක් ඇතිවීම දක්වා දුරදිග යෑමේ ප්‍රවණතාවක් පවතින නිසා පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට යෝජනාවක් තමා මීළඟ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බවද එය එජාපයේ බහුතර මන්ත්‍රි පිරිසකගේ මතය බවද එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

පොලිස්පතිවරයාගේ අර්බුදය දැනට තාවකාලිකව යටපත් වී තිබුණද පොලිස්පතිවරයාගේ හැසිරීම් රටාව හේතුවෙන් පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව දෝෂදර්ශනයට ලක්වූ බවත් එම නිසා වර්තමාන පොලිස්පතිවරයා ඉවත් කොට සුදුසු අයකු පොලිස්පති තනතුර සඳහා පත්කරන ලෙසට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවැසීය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම, පාතාලය මර්දනය කිරීම, පොලිස්පතිවරයාගේ හැසිරීම් රටාව ඇතුළු පසුගිය දිනවල ඇති වූ සිද්ධි ගැන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කොට එවැනි දේවල් යළි ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවද විතානගේ මහතා ප්‍රකාශ කරයි. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද ඇති වී එය ආණ්ඩුවට අවාසි සහගත තත්ත්වයක් ඇති වීමට පෙර පොලිස්පතිවරයා ඉවත් කොට නව පොලිස්පතිවරයකු පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවද
හේෂා විතානගේ මහතා
ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon