2018 අලස්-ගුණසේකර පැසිපන්දු කුසලානය ගේට්වේ ගේට්ටුවෙන් ඇතුළට ගනී

  👤  3135 readers have read this article !
By mawbima 2018-09-24

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකාව තුළ පැසිපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කරගෙන නොකඩවා දෙවැනි වතාවටත් කොළඹ ගේට්වේ-රාජකීය පාසල් අතර මහා තරගයක් සේ පැවැත්වුණු "2018 අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික මහා පැසිපන්දු තරගයේදී ලකුණු 62-57ක තියුණු ජයක් හිමි කරගත් ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම මෙවර අලස්-ගුණසේකර කුසලානය දිනා ගැනීමට සමත් විය.
කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ එච්.එස්.සී. පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පසුගියදා (22දා) පැවැති මෙම තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පළමු කාර්තුව නිමා වන විට ලකුණු 16-11ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර දෙවැනි කාර්තුවේදී ද තම සුපුරුදු ක්‍රීඩා රටාව අනුගමනය කරමින් එම කාර්තුවද 18-16ක් ලෙසින් ජයගැනීමට ද ඔවුන් සමත් විය. කෙසේ නමුත් තුන්වැනි කාර්තුව ආරම්භයේදී උපක්‍රමශීලීව ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයෝ එම කාර්තුව ජයගැනීමට දැඩි උත්සාහයක් ගත්තද ගේට්වේ ක්‍රීඩකයන්ගේ තියුණු ක්‍රීඩා විලාසය හමුවේ රාජකීයන්ගේ උත්සාහය අසාර්ථක වූ අතර තුන්වැනි කාර්තුව ලකුණු 17-17ක් ලෙසින් සම තත්ත්වයෙන් නිමාවට පත් කර ගැනීමට දෙපිලම සමත් විය.

කෙසේ වෙතත් තරගයේ හතරවැනි හා අවසන් කාර්තුවේදී ඉතා තියුණු කරට කර තරගයක් ලබාදුන් රාජකීය ක්‍රීඩකයෝ ලකුණු 13-11ක් ලෙස ඉදිරියෙන් සිටිමින් එම වටය නිමා කළ ද අවසානයේ වට දෙකක් ගේට්වේ ජාත්‍යන්තර පාසල ජයගනිද්දී රාජකීයයන්ට ජයගැනීමට හැකිවූයේ එක් වටයක් පමණි. ඒ අනුව මුළු ලකුණු 62-57ක් ලෙස ලබාගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල "2018 අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික මහා පැසිපන්දු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මේ අතර ගේට්වේ ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ පැසිපන්දු කණ්ඩායම ඒරන් ෆොන්සේකා විසින් මෙහෙය වූ අතර හේෂාන් මීතලාව කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීය. එමෙන්ම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ චෙරාන් ද කොස්තා මෙවර "අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික පැසිපන්දු තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

"2018 අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික පැසිපන්දු තරගයට සමගාමීව පැවැති ගේට්වේ ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමත් කොළඹ කාන්තා විදුහල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමත් අතර පැවැති ආරාධිත බාලිකා පැසිපන්දු තරගයෙන් ලකුණු 19-7ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගේට්වේ ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සමත් විය. තවද ගේට්වේ විදුහල් වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමත් කොළඹ රාජකීය විදුහල් වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමත් අතර පැවැති තරගයෙන් ද රාජකීය විදුහල් කණ්ඩායම පරදවා ලකුණු 27-21ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම සමත් විය.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් වෛද්‍ය චෙල්ලයියා තුරෙයිරාජා මහතාත්, විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහිණී අලස් මහත්මිය ද, ඕස්ට්‍රේලියා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආසියානු කලාපීය කළමනාකරු ජැක් ජොන්ස්ටන් මහතාද, ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා, ගේට්වේ ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි විනිතා ෂෙනෝයි මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ද සහභාගි වූහ.
ඡායාරූප _ ඒෂාන් දසනායක සහ සස්සඳ ලියනාරච්චි

අභාවප්‍රාප්ත ආර්. අයි. ටී. අලස් මැතිඳුන් සහ ඊ. ක්‍රිස්ටි ගුණසේකර මහතා ඉහත පාසල් සඳහා සිදුකරන ලද සේවය ඇගැයීම වෙනුවෙන් මෙම තරගය 'අලස් - ගුණසේකර' කුසලානය යනුවෙන් නම් කර ඇත. ආර්. අයි. ටී. අලස් මැතිඳුන් වසර 10ක් රාජකීය විදුහලේ ගුරුවරයකු ලෙසද සේවය කොට ඩී.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘවරයා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස මහඟු සේවයක් ඉටුකර ඇති අතර, ගේට්වේ විදුහලේ නිර්මාතෘවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය අධ්‍යාපනඥයකු ලෙසද ප්‍රචලිතය. නැසීගිය ඊ. ක්‍රිස්ටි ගුණසේකර මහතා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා උප විදුහල්පතිවරයකු ලෙස ද දිගු කලක් එම විද්‍යාලයේ සේවය කොට පාසල් දරුවන්ගේ විනය හා තත්ත්වය ඉහළ නැංවීමට මහඟු සේවයක් ඉටුකළ අයෙකි. තවද එතුමා ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ සභාපති ධුරයද දරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon