මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චියුද හමුදා සෙබළකුට පිහියෙන් ඇන මරා ටී-56 පැහැර ගැනීමේ සිද්ධිය නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය ගැන සොයන්නට කැමරා පද්ධති පරීක්ෂාවක්

  👤  3160 readers have read this article !
By mawbima 2018-09-24

ශ්‍රී ලංකා යුද හමුදාවේ මීරිගම අඹේපුස්ස පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථාන කඳවුරු භූමියේ සම්මානනීය රැකවල් රාජකාරියේ යෙදී සිටි සෙබළකුට පසුගිය 21දා අලුයම පිහියෙන් ඇන මරා දමා ඔහු අත තිබූ ගිනි අවිය පැහැරගෙන යෑමේ සිද්ධිය පිළිබඳව ලැබී ඇති තොරතුරු ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මීරිගම පොලිසිය කියයි. මේ සිද්ධියෙන් මියගියේ කෑගල්ල බුලත්කොහුපිටියේ පදිංචිකරුවකු වූ ඩබ්ලියු.එම්.එන්.එස්. ජයසේන නමැති 21 හැවිරිදි තරුණ සෙබළෙකි. මියගිය සෙබළා 21දා අලුයම 1.00ට කඳවුරු භූමියේ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි සම්මානනීය සෙබළ මුරපොළෙහි රාජකාරියට වාර්තා කර ඇතැයිද ඔහුගේ සේවා මුරය අලුයම 4.00ට අවසන් වීමට නියමිතව තිබී ඇතැයිද මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යෑමට නියමිත සෙබළකු අලුයම 3.50ට පමණ කඳවුරු මාර්ගය දිගේ ගමන් කරමින් සිටියදී මෙම සෙබළා පාර මැද මුණින් අතට වැටී සිටිනු දැක සිදුකළ පරීක්ෂාවේදී මෙම සිද්ධිය පිළිබඳව අනාවරණය වී ඇත. සෙබළාගේ නියමිත ආරක්ෂක මුර කුටියට මීටර් 10-12 තරම් දුරින් ඔහු මුණින් අතට වැටී සිට ඇති අතර සෙබළාගේ පිටේ පිහි ඇනුම් වැනි තුවාල දෙකක් දක්නට වූ බව පොලිසිය කියයි.
මෙම සේවා මුර රාජකාරියේ යෙදෙන සෙබළා සතුව තිබූ ටී. පනස් හය ගිනි අවිය සඳහා පතරොම් නිකුත් නොකරන බව හෙළිවී ඇති අතර ගිනි අවිය මේ වනවිට අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
මුරපොළේ සිටි සෙබළා නියමිත ස්ථානයෙන් පිටව ගිය හෝ එසේ යෑමට සිදුවූ හේතුවක් පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නැත. කඳවුරු භූමියට පිටතින් කිසිවකු පැමිණි බවටද කිසිදු තොරතුරක් ලැබී නැතැයි පවසන පොලිසිය මෙම සෙබළා මරා දමා ගිනි අවිය පැහැර ගැනීම මහත් අබිරහසක් බව කියයි.

අලුයම 4.00ට පෙර යතුරුපැදියක් කඳවුරු භූමියෙන් ඉවතට ගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතැයිද එම යතුරුපැදිය ප්‍රධාන ගේට්ටුවේ නොනවත්වා ගිය බවට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාව සොයා බැලීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කරන බවද පොලිසිය කියයි. මේ වනවිට ප්‍රධාන ගේට්ටුව වසා නොතිබුණේද යන්න හෙළි කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
අත්තනගල්ල මහෙස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර සෙබළාගේ සිරුර ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබා ගන්නා ලෙස මීරිගම පොලිසියට නියෝග කළාය

බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල යන මහත්වරුන්ගේ උපදෙස් හා අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක ආර්. පීරිස්, පොලිස් පරීක්ෂිකා කාංචනා සමරකෝන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න, පොලිස් සැරයන් බණ්ඩාර (6862), පොලිස් කොස්තාපල්වරුන් වන ලසන්ත (49747), පෙරේරා (53360), සිසිර (57856) පොලිස් කොස්තාපල් රියැදුරු හෙට්ටිආරච්චි (34924) යන නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon